BREAKING : රගර් ක්‍රීඩක තාජුදීන්ගේ සිරුර ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමට අධිකරණයෙන් නියෝග

BREAKING : රගර් ක්‍රීඩක තාජුදීන්ගේ සිරුර ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමට අධිකරණයෙන් නියෝග

BREAKING : රගර් ක්‍රීඩක තාජුදීන්ගේ සිරුර ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමට අධිකරණයෙන් නියෝග

කර්තෘ Staff writer

06 Aug, 2015 | 10:53 am

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන් මහතාගේ සිරුර ලබන 10 වන දා ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමට අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දී තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව ය.

ඔහුගේ අභිරහස් මරණය පිළිබඳව පැවැත්වෙන නඩු විභාගය සැප්තැම්බර් මස 15 වන දිනට කල් තබන බව ද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ය.

මෝටර් රථය තුළ පිළිස්සී තිබූ රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් මහතාගේ සිරුර 2012 වසරේ මැයි 17 වන දා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය ආසන්නයේදී හමුවිය.

පොලීසිය එදින මාධ්‍ය හමුවේ පැවසුවේ, අලුයම 2 ට පමණ නාරාහේන්පිටදී තාප්පයක ගැටුණු තාජුදීන් මහතාගේ මෝටර් රථය අනතුරුව ගිනි ගෙන ඇති බව ය.

පසුව ඔහුගේ බවට සැකකරන මුදල් පසුම්බියක් සිද්ධිය වූ ස්ථානයට නුදුරින් තිබී හමුවී තිබිණ.

පාසැල් සමයේ සිට රගර් ක්‍රීඩාවෙන් දක්ෂතා ප්‍රකට කළ වසීම් තාජුඩීන් 2007 වසරේ ජාතික රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ය.

මූලික පරීක්ෂණවලින් පසුව ඥාතීන්ට භාරදුන් දේහය දෙහිවලදී මිහිදන් කෙරිණ.

මෙම මරණය ඝාතනයක් බවට සාධක ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුව කළ පරීක්ෂණමත පදනම්ව අධිකරණයට කරුණු වාර්තා කළේ ය.

දේහය ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ඒ අනුවයි.

අධිකරණ වෛද්‍ය මණ්ඩලයක්, දේහය මිහිදන් කර ඇති ස්ථානය අයත් දේවස්ථානයේ පූජකවරුන් හා ග්‍රාම නිලධාරිවරයා ඉදිරියේ එය ගොඩ ගැනීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් එම ස්ථානයට පොලිස් ආරක්ෂාව සපයන ලෙස ද නියෝග කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]