දිගට ම බලයේ රැඳී සිටීමට උත්සාහ දරන කෑදර දේශපාලනඥයින් ගැන බරැක් ඔබාමා අදහස් දක්වයි (VIDEO)

දිගට ම බලයේ රැඳී සිටීමට උත්සාහ දරන කෑදර දේශපාලනඥයින් ගැන බරැක් ඔබාමා අදහස් දක්වයි (VIDEO)

කර්තෘ Sakila Udayakumara

29 Jul, 2015 | 4:08 pm

ධුර කාලය අවසන් වූ පසුව ත් පාලන බලය වෙනත් අයෙකුට පැවරීම ප්‍රතික්ෂේප කරන අප්‍රිකානු පාලකයින් මහද්වීපයේ පසුබෑමට හේතුවනු ඇතැයි අමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා පවසයි.

අමෙරිකා ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ, ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර අප්‍රිකානු සංගම් මූලස්ථානයේදී සාමාජික රටවල නියෝජිතයින් අමතමිනි.

සුවිශාල ධනයක් රැස් කර ගැනීමෙන් අනතුරුව ත් අප්‍රිකානු රටවල නායකයින් දිගින් දිගට ම බලයේ රැඳී සිටීමට තැත් කරන්නේ මන්ද යන්න තමන්ට නොවැටහෙන බව ද අමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු අප්‍රිකානු සංගමයෙන් ඉල්ලා සිටියේ, මේ හේතුවෙන් අප්‍රිකානු නායකයින් සිය රටවල ව්‍යවස්ථාවට ගරු කරමින් ධුර කාලය අවසානයේ තනතුරින් ඉවත්වීම සහතික කරන ලෙස ය.

තුන්වරක් ජනාධිපති ධුරයේ රැඳී සිටීමට තැත් කරන බුරුන්ඩි ජනාධිපති පි‍යරේ කුරුන්සියා පිළිබඳව ද බරැක් ඔබාමා එහිදී අදහස් පළ කළේ ය.

තමන්ට පමණක් ජාතියේ ඒකීයත්වය හා සාමය සුරැකිය හැකි බව පවසන පාලකයෙකු වේ නම් ඔහු හෝ ඇය ජාතිය ගොඩනැගීමට අසමත්ව ඇති බව ඉන් හෙළිවන බව ද අමෙරිකා ජනාධිපතිවරයා පැවසී ය.

ඔහු අවධාරණය කළේ, ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම පමණක් නොවන බව ය.

මාධ්‍යවේදීන් මර්දනය, මාධ්‍ය වාරණය, සිවිල් සමාජය හා සමාජ ක්‍රියාකාරීන් පීඩනයට පත් කරන රජයක ප්‍රජාතන්ත්‍රවාදය නාමමාත්‍රික පමණක් බව ද අමෙරිකා ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

අමෙරිකා ජනාධිපතිවරයෙකු සාමාජික රටවල් 54කින් යුත් අප්‍රිකානු සංගමය ඇමතූ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

 

දිගට ම බලයේ රැඳී සිටීමට උත්සාහ දරන කෑදර දේශපාලනඥයින් ගැන බරැක් ඔබාමා අදහස් දක්වයිRead story: http://wp.me/p5qkT7-gkf

Posted by Newsfirst.lk on Wednesday, July 29, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]