මත් උවදුර තුරන් කිරීමේ අවශ්‍යතාව ජනපති මාලදිවයිනේදී අවධාරණය කරයි (VIDEO)

මත් උවදුර තුරන් කිරීමේ අවශ්‍යතාව ජනපති මාලදිවයිනේදී අවධාරණය කරයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

27 Jul, 2015 | 6:14 am

දකුණු ආසියානු කලාපයට ම අභියෝගයක් වූ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා කලාපයේ සියලු රාජ්‍ය නායකයින් පොදු එකඟතාවයකින් ක්‍රියා කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා එම කරුණු අවධාරණය කළේ, මාලදිවයිනේ 50 වන ජාතික නිදහස් උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීම සඳහා එරටට ගිය අවස්ථාවේදී ය.

මාලදිවයිනේ 50 වන ජාතික නිදහස් උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දහවල් දිවයිනෙන් පිටත්ව ගියේ ය.

මාලදිවයිනේ ඉබ්‍රාම් නසීර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනාධිපතිතුමා ඇතුළු පිරිස පිළිගත්තේ එරට උප ජනාධිපති අහමඩ් ආඩීප් අබ්දුල් ගෆුපූර් මහතා ය.

මාලදිවයින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එරට ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල්ලා ගයුම් මහතා විසින් හරසරින් පිළිගනු ලැබී ය.

එහිදී ද ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාරයක් ද පැවැත්විය.

මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල්ලා ගයුම් මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර නිල හමුව පැවැත්වුණේ ඉන් අනතුරුව ය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, තම පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම විධිමත් කිරිමට පියවරගනිමින් සිටින්නේ යැයි ජනාධිපතිතුමා සඳහන් කළ බව ය.

විධිමත් දේශීය ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළක් ආරම්භ කිරීම, පරිසර සංරක්ෂණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීම තම අරමුණු බව ත් එම ඉලක්ක ජයගැනීම සඳහා වූ මූලික වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී පවසා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජාත්‍යන්තර කටයුතුවලදී මාලදිවයින අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇගයීමට ලක්වු බව ය.

ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕනෑ ම සහයක් ලබාදෙන බව මාලදිවයින් ජනාධිපතිවරයා මෙම හමුවේදී පවසා තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]