ජෙලිෆිෂ් විශේෂය අනතුරුදායක බව දන්වමින් පොල්හේනේ තිබූ පුවරු අතුරුදන් (VIDEO)

ජෙලිෆිෂ් විශේෂය අනතුරුදායක බව දන්වමින් පොල්හේනේ තිබූ පුවරු අතුරුදන් (VIDEO)

කර්තෘ Staff writer

24 Jun, 2015 | 8:11 am

ජෙලිෆිෂ් විශේෂයක් වෙරළට පැමිණීම හේතුවෙන් මාතර, පොල්හේන වෙරළ තීරයේ දිය නෑමෙන් වළකින ලෙස සඳහන් කර තිබූ පුවරු කිසියම් පිරිසක් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පවසන්නේ, එය ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගේ ක්‍රියාවක් බවට සැක ‍කරන බව ය.

ඉකුත් 21 වන දා මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ඇතුළු පිරිසක් පොල්හේන වෙරළ තීරයේ සංචාරය කිරීමෙන් පසු අදාළ පුවරු සවිකර තිබේ.

ඒ, මේ දිනවල බස්නාහිර සහ දකුණ වෙරළ තීරයේදී ජෙලිෆිෂ් විශේෂයක් පුද්ගල ශරීරයේ ස්පර්ෂ වීම ත් සමග ඇති වූ ආසාත්මික තත්ත්වයන් හේතුවෙනි.

අදාළ පුවරු පොල්හේන වෙරළ තීරයෙන් ඉවත් කිරීම නිසා ඊයේ පස්වරුවේ සුපුරුදු ලෙස ජනතාව වෙරළ තීරයේ ගැවසෙන අයුරු දක්නට ලැබිණි.

දකුණ සහ බස්නාහිර වෙරළ තීරයේ අසාමාන්‍ය තත්ත්වයක් නිර්මාණය කළ සත්ත්ව විශේෂය ජෙලිෆිෂ් හෙවත් ලොඩියන් නොවන බව පරිසරවේදීහු මීට පෙර පෙන්වා දුන්හ.

ඒ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හෙවත් නාරා ආයතනය කළ පර්යේෂණ වාර්තාවල ප්‍රගතිය පිළිබඳ පූර්ණ විශ්වාසය තැබිය නොහැකි බව සමුද්‍ර පරිසර අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් මහතා පවසයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයෙන් හමුවන ජෙලිෆිෂ් විශේෂයන්ගෙන් මාරාන්තික තර්ජන එල්ල නොවන බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එහි ප්‍රධානී වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසුවේ, 80 දශකයේ සිට සිදු කරන ලද වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණවලදී ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ය.

 

ජෙලිෆිෂ් විශේෂය අනතුරුදායක බව දන්වමින් පොල්හේනේ තිබූ පුවරු අතුරුදන්

Posted by Newsfirst.lk on Tuesday, June 23, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]