මධ්‍යම කඳුකරයේ පාංශු ඛාදනය නිසා අනාගතයේදී ජලාශ්‍රවල රොන්මඩ පමණක් ඉතිරිවිය හැකි බවට අනතුරු ඇඟවීම් (VIDEO)

මධ්‍යම කඳුකරයේ පාංශු ඛාදනය නිසා අනාගතයේදී ජලාශ්‍රවල රොන්මඩ පමණක් ඉතිරිවිය හැකි බවට අනතුරු ඇඟවීම් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

03 Jun, 2015 | 7:13 am

මධ්‍යම කඳුකරයේ පාංශු ඛාදනය තවදුරටත් පැවතියහොත් නුදුරු අනාගතයේදී ජලාශ්‍රවල රොන්මඩ තට්ටු පමණක් ඉතිරිවිය හැකි බවට භු විද්‍යාඥයෝ අනතුරු අඟවති.

ඔවුන් පවසන්නේ, මේ තත්ත්වය පාලනය නොකළහොත් ඉදිරියේදී ජල විදුලි උත්පාදනයට ද දැඩි බලපෑමක් එල්ලවනු ඇති බව ය.

මධ්‍යම කඳුකරය වර්ෂාපතනයෙන් පෝෂිත කලාපයකි.

මෙරට ජල විදුලි උත්පාදන ජලාශ්‍ර රැසක් කඳුකරය අවට ස්ථාපනය කර ඇත්තේ, එම ජලයෙන් නිසි ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ය.

එහෙත් අධික බෑවුම් සහිත මධ්‍යම කඳුකරයට වැසි ඇදහැලීම ත් සමග පාංශු ඛාදනය සිදු වීමෙන් එම ජලාශ්‍රවල රොන්මඩ තැන්පත් වීම ගැටලුවක් වී තිබේ.

ජලාශ්‍රවල රොන්මඩ තැන්පත් වීම පිළිබඳව වසර ගණනක් පර්යේෂණ කළ ආචාර්ය ලලිතා දිසානායක මහත්මිය පෙන්වා දෙන්නේ, 1990 වසරේදී ජලාශ්‍රවල 40% ක පමණ ප්‍රමාණයක් රොන්මඩ තැන්පත්ව පැවති අතර මේ වනවිට එය 50% ඉක්මවා ගොස් ඇති බව ය.

ඉතා සියුම් හා තූනි පස් තට්ටු සහිත භු විෂමතාවක් පවතින මධ්‍යම කඳුකරයේ සුළු වර්ෂාවකදී වුව ද පාංශු ඛාදනය සිදු වීමෙන් මහවැලි ගඟ බැස යාමේ රටාව ද ව්‍යාකූල වී ඇති අතර එම තත්ත්වය සුළු වර්ෂාවකදී පවා ජල ගැලීම් ඇති වීමට හේතුවකි.

ආචාර්ය දිසානායක මහත්මිය පවසන්නේ, මධ්‍යම කඳුකරයේ ජනගහණයෙන් එක් පුද්ගලයෙකු පාංශු ඛාදනය සඳහා 30%ක් පමණ දායක වී ඇති බව ය.

දුම්කොළ, තේ ඇතුළු විවිධ භෝග අක්‍රමත්ව වගා කිරීම හා පරිසර ඇගයීම් නොකර සිදු කරන සංවර්ධන කටයුතු එම පාංශු ඛාදනයට ප්‍රධාන හේතු බවට පත්ව තිබේ.

උතුරට ජලය යොමු කරන පොල්ගොල්ල ජලාශ්‍රයේ මේ වනවිට 44% ක පමණ මඩ තට්ටුවක් තැන්පත් වී ඇති බව ආචාර්ය ලලිතා දිසානායක මහත්මිය පැවසුවා ය.

ඇය පෙන්වා දෙන්නේ, වික්ටෝරියා, රන්ටැඹේ, රන්දෙණිගල හා කොත්මලේ යන ජලාශ්‍රවල ද මඩ තැන්පත් වීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බව ය.

ඒ අනුව පාංශු ඛාදනය වළක්වා ගැනීම වැනි කුඩා කාර්යයකට දායක වීම තුළින් රටේ ජාතික ධනය රැක ගැනීම වැනි දැවැන්ත කාර්යයකට දායක විය හැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ.

 

මධ්‍යම කඳුකරයේ පාංශු ඛාදනය නිසා අනාගතයේදී ජලාශ්‍රවල රොන්මඩ පමණක් ඉතිරිවිය හැකි බවට අනතුරු ඇඟවීම්Read Story: http://wp.me/p5qkT7-fm7

Posted by Newsfirst.lk on Tuesday, June 2, 2015