ඉන්දියාව උණුසුම් වෙයි : මරණ සංඛ්‍යාව 1100 ඉක්මවයි

ඉන්දියාව උණුසුම් වෙයි : මරණ සංඛ්‍යාව 1100 ඉක්මවයි

ඉන්දියාව උණුසුම් වෙයි : මරණ සංඛ්‍යාව 1100 ඉක්මවයි

කර්තෘ Staff writer

27 May, 2015 | 8:06 am

ස්වභාවික ව්‍යසනවලින් ලොව බොහෝ රටවල පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

හිම පතනය, ජලගැලීම්, නායයාම් පමණක් නොවෙයි, අධික උෂ්ණත්වයත් මිනිස් හා සත්ත්ව ජීවිතවලට තර්ජනයකි.

මේ දිනවල ඉන්දියාවේ පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 1100 ඉක්මවන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවන බව ය.

එරට දකුණුදිග ප්‍රාන්ත වන තෙලංගනා හා ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තවලින් මරණ රැසක් වාර්තා වේ.

එම ප්‍රාන්තවලින් පසුගිය සතිය තුළ පමණක් වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 1,118 කි.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ බටහිර බෙංගාල් සහ ඔරිස්සා ප්‍රාන්තවලට බලපෑ උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 24දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.

ඉදිරි දින කිහිපයේදී ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය තරමක් පහළ යා හැකි බව ට විශ්වාස කෙරේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ ඉහළ යන උෂ්ණත්වය හමුවේ වාර්තාවන රෝගීන් වෙනුවෙන් සියලු රෝහල් සූදානමින් තබා ඇති බව ය.

මේ අතර ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල පුද්ගලයින්ට නිවෙස් තුළටම වී සිටින්නැයි බලධාරීන්ගෙන් උපදෙස් ලැබී තිබේ.

උෂ්ණාධික කාලගුණය අප්‍රේල් මස මැද භාගයේ සිට දකුණු ඉන්දීය ප්‍රාන්තවලට බලපෑම් එල්ල කළ නමුත් බොහෝ පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ පසුගිය සතියේදී ය.

උෂ්ණත්වය බරපතල අර්බුදයක් බවට පත්ව ඇති ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පසුගිය සඳුදා සෙල්සියස් අංශක 47ක තරම් ඉහළ උෂ්ණත්වයක් පෙන්නුම් කළ අතර පුද්ගලයින් 852දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

India-heatwave-jpg