කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ඇරඹෙයි (Watch Report)

කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ඇරඹෙයි (Watch Report)

කර්තෘ Sagarika Chathumali

17 May, 2015 | 9:08 pm

කොටස් වෙළෙඳපොළ පසුගිය සමයේ සිදුවූ අක්‍රමිකතාවලට අදාළව විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාව නව විමර්ශන කිහිපයක් ආරම්භ කර තිබේ.

කොමිෂන් සභාවේ බාහිර සබඳතා අධ්‍යක්ෂ තුෂාර ජයරත්න මහතා පැවසුවේ, සිදුවීම් 16කට අදාළව විමර්ශන සිදුකර දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව ය.

ඒ අතරින් ඇතැම් ලිපි ගොනු නීතිපතිවරයාට යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

පසුගිය දා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කොටස් වෙළෙඳපොළ වංචා කළ පුද්ගලයින් රටේ ආර්ථිකය විනාශ කළ බව ය.

[quote]කොළඹ කොටස් වෙළෙඳපොලේ හා විනිමය සුරැකුම්පත් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදුවූ නීතිවිරෝධී ක්‍රියා රැසක් තිබෙනවා.පසුගිය රජය සමයේ මෙවැනි සිදුවීම් රැසක් තිබුනා.සුළු සිදුවීම් විමසා බැලුවා.මහාපරිමාණයේ සිදුවීම් 13 ක් සාක්ෂි නොමැති බව පවසමින් හිතා මතා අත්හැර දැමුවා.වැඩිදුර විමර්ශන කලහැකිව තිබුනත් ඒක සිදුවුනේ නැහැ.විනිමය සුරැකුම්පත් කොමිසමේ සාමාජිකයින් මේ අය ආරක්ෂා කළා. මම විනිමය සුරැකුම්පත් කොමිසමට නියෝගකර තිබෙනවා මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස.අවශ්‍යවුනොත් මම නීතිමය ප්‍රථිපාදන ඇතිකරනවා මේ විමර්ශන සිදුකරන්න.මම තවදුරටත් අවධානය යොමුකරනවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකිරීමට. අපේ ආර්ථිකය මුන් නැතිකරල තියෙනවා.ඒ ගොල්ලන්ගේ පුද්ගලයෝ උදාහරණයක් ලෙස ගන්න දිලිත් ජයවීර.ඔහුගේ කලම්බු ලෑන්ඩ් ඇන්‍ඩ් ඩිවලොප්මන්ට් සහ රීෆ් කොම්බ් යන සමාගම්වල ඔහු කටයුතු කළ ආකාරය විමර්ශනය කළ යුතුයි. තවත් උදාහරණයක් වන්නේ ස්කොට් නිව්මන් හා කෝසල හීන්ගම.එන්වයර්මන්ට් රිසෝස් ඉන්වෙස්ට්මන්ට් ආයතනවල ඔවුන් කටයුතු කළ ආකාරය වැඩිදුර විමර්ශනයකල යුතුයි අග්‍රමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් සති කිහිපයකට පසුව ඔහු නම හෙළි කළ ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවක් පිළිබඳව ප්‍රශ්න කළේ ය.[/quote]

එහිදී ඔහුගෙන් පැය 6 පමණ කාලයක් මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කර තිබේ.

අද දිනයේ පුවත්පත් කිහිපයක් මේ පිළිබඳව කරුණු වාර්තා කර තිබිණ.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළ පරිදි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය දිලිත් ජයවීර මහතාගෙන් විමසා තිබුණේ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් ප්‍රමාණයක් ඉන්දීය සමාගමකට අලෙවි කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් පිළිබඳව ය.

ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ රුපියල් 28 ක්ව පැවති කොටසක් රුපියල් 64 ක් දක්වා විශ්මය ජනක ලෙස එක්වරම ඉහළ දමා ඉන්දීය සමාගමකට විකිණීම පිළිබඳව ජයවීර මහතාගෙන් ප්‍රශ්න කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තාවේ සඳහන් ය.

මේ අතර බිස්නස් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, එක්වරක් බලවත් කොටස් වෙළෙඳපොළ ආයෝජකයෙකු වූ දිලිත් ජයවීර මහතාගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ වන විට ප්‍රශ්න කර ඇති බව ය.

මීට මාස කිහිපයකට පෙර මෙවැනි පරීක්ෂණයක් පිළිබඳව සිතීමට පවා නොහැකි තත්ත්වයක් පැවති බව අද එම පුවත්පත වාර්තා කර තිබුණි.

  • දිලිත් ජයවීර අධ්‍යක්ෂ ධූරය දරණ සමාගමකට අයත් කල්පිටිය බීජ් රිසෝට් හෝටලයේ ගනුදෙනු පිළිබඳවත් චෝදනා.
  • රුපියල් මිලියන 283 ක මහජන මුදල් රැස්කර වසර කිහිපයක් යනතෙක් කිසිවක් සිදු නොකිරීම පිළිබඳව විනිමය සුරුකුම්පත් කොමිසමෙන් සමාගමට අවවාද.
  • හෝටලය ඉදිකර කොටස්කරුවන්ට සාධාරණය ඉටුකළ නොහැකි නම් එය නිවැරදි කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග කොමිසම විමසයි.
  • පාසිකුඩා ප්‍රදේශයේ රුපියල් මිලියන 169 ක් වටිනා ඉඩමක් වංචා සහගතව දිලිත් ජයවීර අධ්‍යක්ෂ ධුරය දරන සමාගමක් ලබාගෙන ඇතැයි ‍පවසමින් දිසා අධිකරණයක නඩුවක්.
  • පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අවධානයට.

කොටස් වෙළෙදපොළ නියාමනය කරන විනිමය සුරැකුම්පත් කොමිසමේ සභාපතිවරයෙකු, සභාපතිවරියක හා අධ්‍යක්ෂ ජෙනාරාල්වරුන් දෙදෙනෙකු කෙටි කාලයක් තුළ ඉල්ලා අස්වූයේ ඇයි?

මෙම ඉල්ලා අස්වීම්වලින් අනතුරුව පත් වූ සභාපතිවරයා මේ ක්‍රියාවලියට සම්බන්ධ වූයේ කෙසේ ද?

‍මේ පිළිබඳ තොරතුරු රැසක් අප සතුයි.

ඉදිරියේදී නිව්ස්ෆස්ට් තුළින් එම තොරතුරු බලාපොරොත්තු වන්න.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]