19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත්කම

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත්කම

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත්කම

කර්තෘ Staff writer

29 Apr, 2015 | 7:32 pm

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විශේෂත්වය වන්නේ විධායක ජනාධිපති ධුරයේ බලතල යම් ප්‍රමාණයක් අඩු වීම ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා යළි ක්‍රියාත්මක වීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන කරුණකි.

මේ තුළින් ප්‍රධාන ආයතන ගණනාවකට කෙරෙන පත් කිරීම්වලදී ජනාධිපතිවරයාට සතු බලතල සීමා වී තිබේ.

17 වන සංශෝධනයෙන් ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා 18 වන සංශෝධනයෙන් දුර්වල විය.

එම දුර්වලතා මග හරවමින් 19 වන සංශෝධනය හරහා යළිත් එම සභාව සහ කොමිෂන් සභා වඩාත් ශක්තිමත් කර තිබේ.

නිල බලයෙන් පත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා ද ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන 7 දෙනෙකු සහ වෘත්තිකයින් 3 දෙනෙකු ද ඇතුළත් වේ.

19 වන සංශෝධනයෙන් මැතිවරණ , රාජ්‍ය සේවා , ජාතික පොලිස්, විගණන සේවා , මානව හිමිකම් , අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන , මුදල් , සීමා නීර්ණය, ජාතික ප්‍රසම්පාදන හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ස්ථාපිත කෙරේ.

එම කොමිෂන් සභාවල සාමාජිකයින් මෙන්ම උපරිමාධිකරණ විනිසුරුවරුන් ඇතුළු ප්‍රමුඛ පත් කිරීම්වලදී ජනාධිපතිවරයා සතුව තිබූ බලතල ව්‍යවස්ථා සභාව සහ කොමිෂන් සභා අතර බෙදීගොස් තිබේ.

19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 5 කට සීමාවන අතර ධුරය දැරිය හැක්කේ වාර 2ක් පමණි.

පාර්ලිමේන්තුවක් පත් වී වසරකින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතුව තිබූ බලතල මේ සංශෝධනයෙන් වෙනස්කර තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි වන්නේ පාර්ලිමේන්තුව පත් වී වසර හතර හමාරකට පසුව ය.

අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලතල ඉවත්කර ඇති අතර නව සංශෝධනය අනුව එය කළ හැක්කේ විශ්වාස භංග යෝජනාවක් සම්මත වීමෙන් හෝ අයවැය පරාජය වීමෙන් පමණි.

එමෙන්ම තවදුරටත් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා වන අතර ඔහු කැබිනට් ඇමතිවරයෙකු ලෙස ද සැලකේ.

මේ අතර අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය හා විෂය තීරණය කිරීම ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත සිදුකළ යුතු බව ද ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන්.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනීම ය.

මීට අමතරව විගණන ක්‍රියාවලිය වඩාත් පුළුල් කර ඇති අතර 50% වඩා වැඩි කොටස් රජය සතු සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගම් ද විගණනයට ඉඩ සලසා තිබේ.