අර්ජුන් මහේන්ද්‍රන් ඝෘජුව වගකිවයුතු නැතැයි කමිටු වාර්තාවෙන් හෙළි වෙයි

අර්ජුන් මහේන්ද්‍රන් ඝෘජුව වගකිවයුතු නැතැයි කමිටු වාර්තාවෙන් හෙළි වෙයි

කර්තෘ Staff writer

19 Apr, 2015 | 8:53 pm

මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී මහ බැංකු අධිපතිවරයා කිසිදු සෘජු දායකත්වයක් දක්වා නැති බව ඒ සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ. 

එහෙත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ඉදිරිපත් කරන ලද අසාමාන්‍ය ලංසු පිළිබඳව වැඩිදුර විමර්ශනයක් සිදු කළ යුතු බව එම කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.

මහ බැංකුවේ සැක සහිත බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව මාර්තු 8 වන දා තොරතුරු හෙළි වීමත් සමග ඒ පිළිබඳව රටපුරා දැඩි කතාබහක් මතු විය.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳ සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේ ය.

නීතිඥ ගාමිණි පිටිපන මහතාගේ සභාපතිත්තවයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සමාජිකයන් වූයේ, මහේෂ් කළුගම්පිටිය සහ චන්දිමාල් මෙන්ඩිස් යන නීතිඥවරුන් ය.

ඔවුන් සකස් කරන ලද වාර්තාවට අනුව වසර 30ක් සඳහා වන බැඳුම්කර නිකුතුවේ ලංසු භාර ගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහ බැංකු අධිපතිවරයා කිසිඳු සෘජු දායකත්වයක් දක්වා නැති බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශය අද නිකුත් කළ නිවේදනයේ දැක් වේ.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රජයේ මූල්‍ය අවශ්‍යතාව ලෙස දක්වනු ලැබ ඇත්තේ, රුපියල් බිලියන 13.55 කි.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හෝ ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතුවලට මහ බැංකු අධිපතිවරයා කිසිදු සෘජු මැදිහත් වීමක් වූ බවට සාක්ෂි නැතැයි ත්‍රිපුද්ගල කමිටුව නිගමනය කර ඇති බව ප්‍රතිපත්ති සම්පාදන අමාතංශයේ නිවේදනයේ සඳහන්ව ඇත.

එහෙත් , වසර 30ක බැඳුම්කර නිකුතුවට අදාළව අතිවිශාල මුදල් සම්භාරයක් අවදානම් සහගත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් ලංකා බැංකුව අධිකරණමය විගණනයක් පැවැත් විය යුතු බව ත් සිය ප්‍රධාන අළෙවිකරුගෙන් කරුණු විමසිය යුතු බවට ත් කමිටුව නිර්දේශ කර තිබේ.