BREAKING: ජෙනරල් සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් නිලයට උසස් කෙරේ

BREAKING: ජෙනරල් සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් නිලයට උසස් කෙරේ

BREAKING: ජෙනරල් සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් නිලයට උසස් කෙරේ

කර්තෘ Sagarika Chathumali

22 Mar, 2015 | 4:26 pm

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාෂල් නිලයට උසස් කෙරිණ.

සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාෂල් නිලයට උසස් කිරීමේ නිල උත්සවය  පැවැත්වුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ෆීල්ඩ් මාෂල් නිලයට පත්වූ පළමු නිලධාරියා ලෙස ඉතිහාසයට එක් වනු ඇති.

රටක ත්‍රිවිධ හමුදාවේ උසස් ම නිලය ද වන මෙය කිසි දිනෙක විශ්‍රාම නොයන ෆීල්ඩ් මාෂල් තනතුර කැබිනට් අමාත්‍යවරයෙකු හා සමතැන් ගන්නා තනතුරකි.

1970 වසරේ පෙබරවාරි මස 5 වන දා යුද හමුදාවට එක් වූ සරත් ෆොන්සේකා මහතා සිංහ රෙජිමේන්තුවේ පළමු වන බල ඇණියේ දෙවැනි ලුතිනන්වරයෙකු ලෙස සිය හමුදා ජීවිතය ආරම්භ කළේ ය.

ලුතිනන්, කපිතාන්, මේජර් නිලයන් පසු කරමින් ඔහු 23 වන බල සේනාවේ ආඥාපතිවරයා ලෙස පත්වූයේ කර්නල් නිලයට උසස් වීම් ලබමිනි.

කර්නල්වරයෙකු ලෙස එවක පැවති ත්‍රස්තවාදයට එරෙහි සටනට නොබියව මුහුණ දුන් මේ සෙන්පතියා එම කාල සීමාවේ බලවේගය මෙහෙයුමට සක්‍රීයව දායක විය.

1993 වසරේ දෙසැම්බර් පළමු වෙනද බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලද ඔහු 1998 වසරේ පෙබරවාරී 23 වන දින මේජර් ජනරාල් නිලයට උසස් කෙරිණ.

ත්‍රස්තවාදයට එරෙහි සටන නව මාවතකට අවතීර්ණ කරමින් සරත් ෆොන්සේකා මහතාට යුධ හමුදාපති තනතුරේ වගකීම් පැවරුණේ 2005 වසරේ දෙසැම්බර් 06 වෙනිදා ය.

නව පත්වීමත් සමග යුධ හමුදාවේ විවිධ ප්‍රතිසංස්කරණ හා නවීකරණ සිදුකරමින් ලුතිනන් ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග ත්‍රිව්‍රර කළේ ය.

යුද හමුදාපති ධුරයට පත්ව සති කිහිපයකින්, එනම් 2006 අප්‍රේල් 25 වෙන දා ෆොන්සේකා මහතා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක ඉලක්කයක් බවට පත් විය.

සටනේදී ඊට පෙරද තුවාල ලැබූ ඔහු ධෛර්යෙන් ඊට මුහුණ දෙමින් යළි ත් සටන් බිමට අවතීර්ණ වූයේ සම්පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව ය.

මාවිල්ආරු සටනේ සිට නන්දිකඩාල් දක්වා එල්.ටී.ටී.ඊ.ය කොටු කළ සටනේදී යුද හමුදාවට නායකත්වය දුන් මෙම සෙන්පතියා අවසානයේ සිය අරමුණ සඵල කරගත්තේ ය.

මව්බිම ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීමට පෙරමුණ ගත් පිරිස අතර සිටි මේ සෙන්පතියා යුද ජයග්‍රහනයෙන් පසුව ඇගයීමට ලක් කළේ, ජෙනරල් නිලයට උසස් කරමිනි.

අනතුරුව ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කෙරිණ.

බලවේගය ,නොනවතින රැල්ල වඩමාරච්චි, රිවිරැස ඇතුළු ක්‍රියාන්විත සමග තිස්වසරක් පැවති යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා සිටි මේ සෙන්පතියා රණ බිමේ පෑ සමත්කම් උදෙසා පදක්කම් රැසකින් පුද ලද අයෙකි.

රණශූර, රණ වික්‍රම ,විශිෂ්ට සේවා විභූෂණ ,උත්තම ‍සේවා, දේශ පුත්‍ර ඉන් කිහිපයකි.

ජෙනරල් සරත් ෆොන්සේකා සිය උපරීම සේවය ඉටුකර තිස් වසරකට අධික සේවා කාලයක් අවසන් කරමින් 2009 වසරේ යුද හමුදා සේවයට සමුදුන්නේ ය.