සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කළ නිල උත්සවයේ දර්ශන (VIDEO)

සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කළ නිල උත්සවයේ දර්ශන (VIDEO)

කර්තෘ Sagarika Chathumali

22 Mar, 2015 | 5:38 pm

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පදවි ප්‍රාප්ති උත්සවයේදී සරත් ෆොන්සේකා මහතා මෙරට ප්‍රථම ෆීල්ඩ් මාර්ෂල්වරයා ලෙස පත්වීම් ලැබීය.

ආරක්ෂ ප්‍රධානීන්ගේ සම්ප්‍රාප්තියත් සමඟ ආරක්ෂ අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති උත්සව සභාව ආරම්භ විය.

අනතුරුව එම අවස්ථාවට පැමිණියේ වසර තිහකට ආසන්න කාලයක් පැවති යුද්ධය අවසන් කිරීමට යුද හමුදාවට නායකත්වය දුන් ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ය.

අගවිනිසුරුතුමා සහ අග්‍රාමාත්‍යවරයාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පදවි ප්‍රාප්ති උත්සවයට සම්ප්‍රාප්ත විය.

ජනාධිපති උත්තමාචාර පිළිගැන්වීමෙන් පසුව ජෙනරල් සරත් ෆොන්සේකා මහතා පීඨිකාව වෙත පැමිණියේ ය.

සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාෂල් තනතුර පිරිනැමීමට අදාළ උදෘත පාඨ කියවනු ලැබුවේ, ආරක්ෂක ලේකම්වරයා විසිනි.

ඉන් අනතුරුව ෆීල්ඩ් මාෂල් තනතුරට ආවේණික අභිමානවත් යෂ්ටිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සරත් ෆොන්සේකා මහතා වෙත පිළිගන්වනු ලැබී ය.

එම අවස්ථාවෙන් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට මෙරට ගුවනේ ෆීල්ඩ් මාෂල් ධජය ලෙල දුනි.

පසුව ජනාධිපතිතුමා උත්සව සභාව ඇමතූ අතර ඉන් පසුව ජනාධිපති උත්තමාචාර පිළිගන්වමින් පදවි ප්‍රාප්ති උත්සවය නිමාවට පත්විය.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ උත්තමාචාර මැද විවෘත රථයකින් උත්සව සභාවෙන් නික් ම ගියේ ය.

ෆීල්ඩ් මාෂල් ධුරයට පත් වන්නෙකුට තරු 5ක් හිමිවන අතර එම තැනැත්තා අදාළ ධුරයෙන් විශ්‍රාම නොයෑම විශේෂත්වයකි.

එමෙන් ම, එම ධූරයට පත්වන්නාට කැබිනට් අමාත්‍යවරයෙකු සතු බලතල ද හිමි වේ.

රටක ත්‍රිවිධ හමුදාවේ ලබාදෙන උසස් ම තනතුර ෆීල්ඩ් මාෂල් වන අතර එය සම්මානනීය යුධමය තනතුරකි.

සෑම ෆීල්ඩ් මාෂල්වරයෙකු ම අභිමානවත් යෂ්ටියක් වම් අතෙහි දරා සිටින අතර එම නිලයට අදාළව සුවිශේෂි වරප්‍රසාද රැසක් ද හිමි වේ.

සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාෂල් ධුරය දක්වා පැමිණි ගමන්මග පිළිබඳ අතීතාවර්ජනයක්……

1970 වසරේ පෙබරවාරී මස 05 වන දා යුද හමුදාවට එක්වූ
සරත් ෆොන්සේකා මහතා සිංහ රෙජිමේන්තුවේ පළමු බල ඇණියේ දෙවැනි ලුතිනන්වරයෙකු ලෙස සිය හමුදා ජීවිතය ආරම්භ කළේ ය.

ලුතිනන්, කපිතාන්, මේජර් නිලයන් පසු කරමින් ඔහු 23 වන බල සේනාවේ ආඥාපතිවරයා ලෙස පත්වූයේ කර්නල් නිලයට උසස්වීම් ලබමිනි.

කර්නල්වරයෙකු ලෙස එවක පැවති ත්‍රස්තවාදයට එරෙහි සටනට නොබියව මුහුණ දුන් මේ සෙන්පතියා එම කාල සීමාවේ -බලවේගය මෙහෙයුමට සක්‍රීයව දායක විය.

1993 වසරේ දෙසැම්බර් පළමු වෙන දා බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලද ඔහු 1998 වසරේ පෙබරවාරී 23 වන දින මේජර් ජනරාල් නිලයට උසස් කෙරිණ.

ත්‍රස්තවාදයට එරෙහි සටන නව මාවතකට අවතීර්ණ කරමින් සරත් ෆොන්සේකා මහතාට යුධ හමුදාපති තනතුරේ වගකීම් පැවරුණේ 2005 වසරේ දෙසැම්බර් 06 වෙනිදා ය.

නව පත්වීමත් සමග යුධ හමුදාවේ විවිධ ප්‍රතිසංස්කරණ හා නවීකරණ සිදුකරමින් ලුතිනන් ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග ත්‍රිවෘර කළේ ය.

යුද හමුදාපති ධුරයට පත්ව සති කිහිපයකින්, 2006 අප්‍රේල් 25 වෙනිදා ෆොන්සේකා මහතා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක ඉලක්කයක් බවට පත්විය.

සටනේදී ඊට පෙර ද තුවාල ලැබූ ඔහු ධෛර්යෙන් ඊට මුහුණ දෙමින් සම්පූර්ණ සුවය ලබා යළිත් සටන් බිමට අවතීර්ණ විය.

මාවිල්ආරු සටනේ සිට නන්දිකඩාල් දක්වා එල්.ටී.ටී.ඊ.ය කොටු කළ සටනේදී යුද හමුදාවට නායකත්වය දුන් මේ සෙන්පතියා අවසානයේ සිය අරමුණ සපල කරගත්තේ ය.

මව්බිම ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීමට පෙරමුණ ගත් පිරිස අතර සිටි මේ සෙන්පතියා යුද ජයග්‍රහණයෙන් පසුව ඇගයීමට ලක් කළේ, ජෙනරල් නිලයට උසස් කරමිනි.

අනතුරුව ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කෙරිණ.

බලවේගය, නොනවතින රැල්ල, වඩමාරච්චි, රිවිරැස ඇතුළු ක්‍රියාන්විත සමග තිස්වසරක් පැවති යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා සිටි මේ සෙන්පතියා රණ බිමේ පෑ සමත්කම් උදෙසා පදක්කම් රැසකින් පුද ලද අයෙකි.

රණශූර ,රණ වික්‍රම ,විශිෂ්ට සේවා විභූෂණ ,උත්තම ‍සේවා දේශ පුත්‍ර ඉන් කිහිපයකි.

2009 වසරේ සරත් ‍ෆොන්සේකා මහතා 30 වසරකට අධික යුද හමුදා සේවයට සමුදුන්නේ ඔහුගේ සේවා කාලය හා සමාන ත්‍රස්තවාදයද මුලින් උපුටා දමමිනි.