ලෝකාන්තයෙන් ඇද වැටී පැය තුනක් ගසක එල්ලෙමින් සිටි මාටින්ස් බේරාගත් සිංහ මෙහෙයුම (VIDEO)

ලෝකාන්තයෙන් ඇද වැටී පැය තුනක් ගසක එල්ලෙමින් සිටි මාටින්ස් බේරාගත් සිංහ මෙහෙයුම (VIDEO)

කර්තෘ Sagarika Chathumali

21 Feb, 2015 | 7:53 pm

ලෝකාන්තයෙන් ඇද වැටුණු විදේශිකයෙකුගේ දිවි බේරා ගැනීමට යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුව සහ ගුවන් හමුදාව අද සමත් විය.

මෙලෙස අනතුරට ලක් වූ නෙදර්ලන්ත ජාතිකයා එල්.මාටින්ස් ලෙස හඳුනාගෙන තිබේ.

නෙදර්ලන්ත ජාතික මාටින්ස් සහ ඔහුගේ බිරිඳ නුවරඑළියට පැමිණ ඇත්තේ මධු සමය ගත කිරීම සඳහා ය.

ඔවුන් විවාහපත්ව ගතව ඇත්තේ දින 6 ක කාලයකි.

ලෝකාන්තය නැරඹීමට ගිය ඔහු සිය බිරිඳගේ ඡයාරූපයක් ගැනීම සඳහා පසුපසට ගොස් ඇති අතර එම අවස්ථාවේ ලෝකාන්තයෙන් පහළට ඇද වැටී තිබේ.

කෙසේ වෙතත් සුළු මොහොතකින් ඔහු කෑ ගසන හඬ එම ස්ථානයේ සිටි සෙසු දෙස් විදෙස් සංචාරකයින්ට ඇසී තිබේ.

ඔහු ලෝකාන්ත බෑවුමේ ප්‍රපාතයක ඇති ගසක අත්තක එල්ලී සිටි ඇති අතර නරඹන්නන් අතර සිටි එක් විදේශීය සංචාරයකයෙකු අනතුරට ලක් වූ මාටින්ස් සමග සංවාදයේ නිරත වෙමින් ඔවුගේ මානසික මට්ටම නංවාලීමට පියවර ගෙන තිබේ.

මේ අතරතුර සිය ශීත කබා ගලවා එකිනෙක ගැට ගසා කඹයක් නිර්මාණය කරගත් දෙස් විදෙස් සංචාරකයින් අනතුරට ලක්ව සිටි මා‍ටින්ස් වෙත එය යොමුකර තිබේ.

ගලවා ගැනීමේ කණ්ඩායම් පැමිණෙන තුරු පැය තුන හාමාරක පමණ කාලයක් මාටින්ස් එම අත්තේ එල්ලී සිට ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.

මේ අතර ලෝකාන්තය ප්‍රපාතය කෙළවර වන බංලගොඩ නම්පේරියල්වත්ත ප්‍රදේශවාසීන්ට ද සිද්ධිය දර්ශනය වී තිබේ.

අනතුරට ලක්ව සිටි මාටින්ස් ගලවා ගැනීමට පැමිණියේ යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවට අයත් ලෙෆ්ටිනන් කර්නල් අමිල පෙරේරා ඇතුළු කණ්ඩායමකි.

මෙහෙයුම සඳහා යුද හමුදාවට ගුවන් හමුදාවේ සහය ද හිමි විය.

ලෙෆ්ටිනන් කර්නල් අමිල පෙරේරාගේ උපදෙස් පරිදි කෝප්‍රල් සුදේශ් ලාලින් ද කඹයක ආධාරයෙන් ලෝකාන්තයෙන් පහළට බැස නෙදර්ලන්ත ජාතිකයා‍ගේ දිවි ගලවා ගැනීමට සමත් විය.

ඔහුව ඉහළට ගැනීම සඳහා ගුවන් හමුදා සමාජිකයෙකු ද කඹයක් ආධාරයෙන් ප්‍රපාතයට බැස්ස බව යුද හමුදාව පැවසී ය.

දිවිගලවාගත් නෙදර්ලන්ත ජාතික එල්.මාටින්ස් නුවරඑළිය රෝහළට ඇතුළත් කෙරිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]