රුසියාවට එරෙහිව බරැක් ඔබාමාගෙන් රතු එළියක්!

රුසියාවට එරෙහිව බරැක් ඔබාමාගෙන් රතු එළියක්!

රුසියාවට එරෙහිව බරැක් ඔබාමාගෙන් රතු එළියක්!

කර්තෘ Sakila Udayakumara

10 Feb, 2015 | 11:36 am

නැගෙනහිර යුක්‍රේනයේ අර්බුදය සමථයකට පත් නොවුණහොත් යුක්‍රේනයට ආයුධ සැපයීමට පියවර ගන්නා බවට අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අනතුරු ඇඟවීමක් කර තිබේ.

ජනාධිපති ඔබාමා අවධාරණය කළේ, යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් බෙලරුසියාවේ මින්ස්ක් නුවරදී එළඹි ගිවිසුමේ සියලු නීතිරීති රුසියාව උල්ලංඝණය කර ඇති බවය.

යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් රුසියාව සමඟ එළඹීමට නියමිත නව සාම සැලැස්ම සම්බන්ධයෙන් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් සමග පැවති සාකච්ජාවේදී අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව හෙළි කළේ ය.

ජර්මානු චාන්සෙලර්වරිය විරෝධය දැක්වුව ද අමෙරිකානු බලධාරීන් යුක්‍රේනයට අවි සපයන ලෙස බලකිරීම හේතුවෙන් ජනාධිපති ඔබාමා අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර පසුගිය දෙදින තුළ 1500කගෙන් යුත් රුසියානු භට පිරිසක් යුක්‍රේනයට ඇතුළු වු බවට යුක්‍රේන හමුදාව ප්‍රකාශ කළේ ය.

යුක්‍රේන හමුදාව සඳහන් කළේ, එම භට පිරිස සතුව මිසයිල ඇතුළු යුධ උපකරණ 300 ක් ද  පැවති  බව ය.

කෙසේ වෙතත්, නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු කැරලිකරුවන්ට සහය දීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාව රුසියාව තරයේ ප්‍රතික්ෂේප කළේ ය.

රුසියානු ජනාධිපතිවරයා ඊයේ චෝදනා කළේ, යුක්‍රේන අර්බුදය උග්‍රවීමට බටහිර බලවතුන්ගේ ක්‍රියාකලාපය හේතු වු බව ය.

මේ අතර, ගතවු පැය 24 තුළ නැගෙනහිර යුක්‍රේනයේ ගැටුම් උග්‍ර වු අතර ඉන් සෙබළුන් 9 දෙනෙකු හා සිවිල් වැසියන් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

මෙම අර්බුදය හේතුවෙන් පුද්ගලයින් 5300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් මිලියන එක හමාරකට අධික පිරිසක් අවතැන්ව සිටිති.