ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්නයන්ගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරේ (VIDEO)

ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්නයන්ගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරේ (VIDEO)

කර්තෘ Sakila Udayakumara

05 Feb, 2015 | 1:20 pm

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතාගේ දේහය මේ වන විට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, දිවයිනේ නන් දෙසින් පැමිණෙන සහෘද ජනතාව සිසිර සේනාරත්න මහතාට අවසන් ගෞරව පුද කරමින් සිටින බව ය.

ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතා මිය යන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

ඔහු මිය යන විට පසුවුණේ 79 වන වියේ ය.

හලාවතදී උපන් සිසිර සේනාරත්නයන් හලාවත ශාන්ත මරියා විද්‍යාලයෙන් සහ මරදානේ මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය
ලැබුවේ ය.

ගුවන්විදුලියෙන් ගායනයට පිවිසි සිසිර සේනාරත්නයන් චිත්‍රපට පසුබිම් ගායනයට එක් වූයේ පොඩිපුතා චිත්‍රපටයෙනි.

රේඛාව චිත්‍රපටයේ පසුබිම් ගයනයට එක් වූ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර හඳුනාගන්නා ඔහු 1956 මැයි 31 වන දා ඇය
සමග යුග දිවියට එළඹිණි.

1965 වසරේ තිරගත වූ හඳපාන චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වී 1966 වසරේ සරසවි සම්මාන උළෙ‍ලේදී හොඳම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස සරසවි සම්මානය දිනුවේ ද මේ හෘදයාංගම ගායන ශිල්පියා ය.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා කලාභවනට රැගෙන යාමෙන් අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.