ඩිල්ෂාන් සහ තිරිමාන්න ලෝක කුසලානයේ ආරම්භ පිතිකරුවන් – ක්‍රිකට් තේරීම් කමිටු සභාපති

ඩිල්ෂාන් සහ තිරිමාන්න ලෝක කුසලානයේ ආරම්භ පිතිකරුවන් – ක්‍රිකට් තේරීම් කමිටු සභාපති

කර්තෘ Chathuranga Rajapaksha

05 Feb, 2015 | 10:01 pm

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයට තව ත් ඇත්තේ දින 8ක කාලයක් පමණි.

ඒ, සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම, ලබන සෙනසුරාදා යළි පුහුණුවීම් කටයුතු ආරම්භ කරන බව, කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා මහතා ස්පෝර්ට්ස් ෆස්ට් වෙත ප්‍රකාශ කළේය.

පුද්ගලික හේතුවක් මත පසුගියදා දිවයිනට පැමිණ සිටි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් යළි ත් නවසීලන්තයට පැමිණි බව මයිකල් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

ඔහු වැඩි දුරට ත් පැවසුවේ ආබාධවලට ලක්වූ ජීවන් මෙන්ඩිස්, ධම්මික ප්‍රසාද් හා සුරංග ලක්මාල් යථා තත්වයට පැමිණ සිටින බව ය.

මේ අතර, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ටී.එම්. ඩිල්ෂාන් හා ලහිරු තිරිමාන්න නිත්‍ය ආරම්භක පිතිකරුවන් ලෙස යොදා ගන්නා බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසයි.

ශල්‍යකර්මයක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද නැවතත් සුපුරුදු රිද්මයට පැමිණ සිටින බව ජයසූරිය මහතා වැඩි දුරට ත් ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මානසිකත්වය ඉහළ නැංවීම සදහා මනෝ වෛද්‍යවරයෙකු වන ජෙරමි ස්නේප් සහය ලබාගැනීමට තීරණය කළ බව ය.

ඔහු ලබන 24 වන දා සිට දින 14 ක කාලයක් ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහයට එක්වනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සඳුදා දකුණු අප්‍රිකාවට එරෙහිව සිය පළමු පුහුණු තරගයට සහභාගී වේ.