ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාව දිනා ගත් සෙරීනා ජයග්‍රහණය සැමරූ අයුරු (VIDEO)

ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාව දිනා ගත් සෙරීනා ජයග්‍රහණය සැමරූ අයුරු (VIDEO)

කර්තෘ Sagarika Chathumali

01 Feb, 2015 | 10:38 am

ලොව අංක – 1 ටෙනිස් ක්‍රීඩිකා ඇමරිකාවේ සෙරීනා විලියස් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට සමත් වූවා ය.

මෙය සෙරීනා විලියම්ස් මෙම ශූරතාව දිනූ හයවැනි අවස්ථාව යි.

ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් තරගය ඊයේ පැවැත්වුණේ මෙල්බර්න් පාර්ක්හිදී ය.

ලොව අංක – 1 ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් සහ දෙවැනි ස්ථානයේ සිටින රුසියාවේ මාරියා ශරපෝවා තරග කළ එම අවසන් තරගයට වර්ෂාවෙන් ද බාධා එල්ල විය.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, 33 හැවිරිදි සෙරීනා විලියම්ස් ඊයේ තරගයට සහභාගි වූයේ තරමක අයහපත් සෞඛ්‍ය තත්තවයෙන් බව ය.

2004 වසරෙන් පසුව අවසන් තරගයකදී 33 හැවිරිදි සෙරීනා පරාජය කිරීමේ අරමුණින් ශරපෝවා අද තරගයට පිවිසි නමුත් එම අවස්ථාව උදාකර ගැනීමට ශරපෝවාට නොහැකි වූවා ය.

අවසන් තරගයේදී සෙරීනා විලියම්ස් ශරපෝවා පරාජය කළේ වට 2ට 0ක් ලෙසිනි.

ලකුණු සටහන 6-3 ක් සහ 7-6 ක් ලෙස දැක් විය.

මෙම ජයග්‍රහණය මෙල්බර්න් පාර්ක්  ක්‍රීඩාංගණයේදී  සෙරීනා දිනූ 6 වැනි ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාව වේ.

මිට පෙර ඇය 2003, 2005, 2007, 2009, සහ 2010 යන වසරවලදීද ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් කිරුළ ජයග්‍රහණය කළා ය.

සෙරීනා විලියම්ස් අද වාර්තා පොතට එක් වූයේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව දිනූ දෙවැනියට ලොව වයස්ගතම ක්‍රීඩිකාව ලෙසිනි.

සෙරීනා විලියම්ස් මේ වන විට දිනූ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා ගණන 19ක්.

ටෙනිස් ඉතිහාසයේ වැඩි ම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා දිනූ ලේඛනයේ 3වැනි ස්ථානයට පැමිණීමට ද සෙරීනා විලියම් අද සමත් වූවා ය.

එම ලේඛනයේ පළමුවැනි ස්ථානයේ පසු වන්නේ  එකී ශූරතා 24 ක් දිනූ ඕස්ට්‍රේලියාවේ මාගරට් කෝර්ට් ය.