සැකකරුවෙකු ඉහළ කොත්මලේ ජලාශයට පැනීම සම්බන්ධයෙන් පොලීසියට එරෙහිව තලවකැලේදී විරෝධතාවක් (VIDEO)

සැකකරුවෙකු ඉහළ කොත්මලේ ජලාශයට පැනීම සම්බන්ධයෙන් පොලීසියට එරෙහිව තලවකැලේදී විරෝධතාවක් (VIDEO)

කර්තෘ Sagarika Chathumali

01 Feb, 2015 | 2:11 pm

පොලීසියට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් තලවකැලේ නගරයේදී  විරෝධතාවක නිරත ව සිටිති.

ඒ තලවකැලේ පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබු තරුණයෙක් ඉහළ කොත්මලේ ජලාශයට පැන අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට විරෝධය පළ කරමිනි.

මත්ද්‍රව්‍ය වර්ගයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඊයේ දහවල් 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට‍ උත්සහ කරන අවස්ථාවේදී සැකකරු පොලීසියෙන් මිදී  ඉහළ කොත්මලේ ජලාශයට  පැන තිබිණ.

අප වාර්තාකරු සඳහන් කළේ, අතුරුදන් වූ තරුණයා  සොයා ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව  මේ වනවිටත් කොත්මලේ ජලාශයේ  මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ය.

මේ අතර අදාළ තරුණයා ජලාශයට ඇද වැටුණු ස්ථානයට විශාල පිරිසක් රැස්ව සිටීම හේතුවෙන් උඩරට මාර්ගයේ  දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.

ඒ හේතුවෙන් නුවරඑළිය – හැටන් සහ තලවාකැලේ – පූඩලුඔය මාර්ගය මේ වනවිටත් අවහිර වී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත්‍ රෝහණ මහතා සදහන් කළේ, සැකකරු ජලාශයට පැන අතුරුදන් විම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව ය.