වත්තල ප්‍රාදේශීය සභාවට කඩා වැඳුණු මොවුන් ඔබ හඳුනනවා ද? (VIDEO)

වත්තල ප්‍රාදේශීය සභාවට කඩා වැඳුණු මොවුන් ඔබ හඳුනනවා ද? (VIDEO)

කර්තෘ Sagarika Chathumali

30 Jan, 2015 | 8:34 pm

වත්තල ප්‍රාදේශීය සභාවේ අද උදෑසන ඇති වූ නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් සභාපති ත්‍යාගරත්න අල්විස් මහතා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණ.

අද උදැසන මෙම ‍නොසන්සුන් තත්ත්වය ඇතිවූයේ සභාපතිවරයා සභාවෙන් ඉවත් කිරීමට පිරිසක් උත්සාහ ගැනීමත් සමගිනි.

වත්තල ප්‍රාදේශීය සභාවේ  එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද උදෑසන වත්තල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබිණ.

උත්සවයට පැමිණි අමාත්‍යවරයා  ප්‍රාදේශීය සභාවේ නීරික්ෂණ චාරිකාවකින් අනතුරුව පිටව ගියේ ය.

අමාත්‍ය ‍ජෝන් අමරතුංග මහතා පිටව යාමෙන් පසුව ප්‍රාදේශීය සභාව රැස් වූ අවස්ථාවේ සභාපති ත්‍යාගරත්න අල්විස් මහතාට සභාවෙන් ඉවත්වන ලෙස පිරිසක් පැමිණ බලපෑම් කළහ.

එහිදී නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

තත්ත්වය පාලනයට පොලීසිය කැඳ වූ අතර පොලිස් ආරක්ෂාව යටතේ සභාපතිවරයා සභාවෙන් නික්ම ගියේ ය.

අනතුරුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති සංජීව පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව රැස්වී තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස් මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනෙක් මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.

වත්තල ප්‍රා‍දේශීය සභාවේ සභාපතිවරයා සභාවෙන් ඉවත් කිරීමට පැමිණි පිරිස අතර වත්තල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රොයිස් බෙනෝ ප්‍රනාන්දු මහතා ද සිටියේ ය.

මෙම පිරිස අතර සිටි මොවුන් ඔබ හඳුනන්නේ නම්, 0114896896 නිව්ස්ෆස්ට් දුරකථන අංකයට අමතන්න.

මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද පස්වරුවේ රාගම ශික්ෂණ රෝහලට පැමිණ තුවාල ලැබූවන්ගේ තත්ත්වය විමසා බැලුවා ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, වත්තල ප්‍රාදේශීය සභාවේ සිදුවීම පිළිබඳව වහා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]