BMICH අවි ගබඩාවේ තිබූ ගිනිඅවි තොගය (VIDEO)

BMICH අවි ගබඩාවේ තිබූ ගිනිඅවි තොගය (VIDEO)

කර්තෘ Sagarika Chathumali

20 Jan, 2015 | 5:28 pm

පෞද්ගලික ආරක්ෂක අංශයකට අයත් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පවත්වාගෙන ගිය තව ත් අවි ගබඩාවක් පොලීසිය අද පරීක්ෂා කළේ ය.

පොලීසිය මෙම පරීක්ෂාව කළේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව ය.

පොලිස් මූලස්ථානය පැවසුවේ, ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් සමන් දිසානායක සහ කොළඹ දකුණ සහ‍කාර පොලිස් අධිකාරී රෝෂාන් ඩයස් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසකගේ අධීක්ෂණය යටතේ මෙම සෝදිසිය සිදුකර තිබේ.

පුද්ගලික ආරක්ෂක සමාගමකට අයත් ටී 56 අවි 2300 ක් ඇතුළු ගිනිඅවි 3473 ක් මෙම ගබඩාවේ තබා ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය අනුමැතිය දී ඇතැයි පොලීසිය පැවසී ය.

එහෙත් සෝදිසිය සිදුවන අවස්ථාවේ එහි තිබී ඇත්තේ අවි 151 ක් පමණි.

ඒ අනුව ‍ඉතිරි අවි 3322 ක විවිධ රාජකාරී සඳහා යොදවා ඇතැයි අදාළ ආරක්ෂක ආයතනය පවසා තිබේ.

පොලීසිය පැවසුවේ, මෙම අවි නිකුත් කර ඇති ආකාරය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ය.

ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති මහනුවර නමැති නෞකාවේ පාවෙන අවි ගබඩාවේ තිබී විවිධ වර්ගයේ අවි 3000කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසී ය.

ඇවන්ට් ගාඩ් සිකියුරිටි සර්විසස් නමැති පෞද්ගලික ආරක්ෂක ආයතනයට මෙම අවි ගබඩාව සඳහා අවසර 2012 වසරේ බලපත්‍රයක් නිකුත්කර තිබේ.

ඒ අනුව අද නිව්ස්ෆස්ට් මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අදාළ සමාගමේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලය ගිය අතර උසස් නිලධාරියෙකු ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළේ ය.

එම පැහැදිලි කිරීමට අනුව හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් මෙම සමාගමේ උපදේශකවරු ලෙස කටයුතු කරති.

මේ අතර තම අධීක්ෂණය යටතේ මෙම අවි ගබඩාව පවත්වාගෙන ගිය බව නාවික හමුදාව තහවුරු කළේ ය.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින අතර පසුව ප්‍රකාශයක් සිදු කළ හැකි බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]