මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 240ක් – පොලීසිය

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 240ක් – පොලීසිය

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 240ක් – පොලීසිය

කර්තෘ Chathuranga Rajapaksha

03 Jan, 2015 | 6:33 pm

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 240 ක් ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 883 ක් ලැබී ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීම සඳහා එක්වූ  වයඹ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් වෙඩරුව මහතාගේ නිවසට ඊයේ රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එලෙ ප්‍රහාර එල්ල වී තිබුණේ කුරුණෑගල, පුබුදු මාවතේ පිහිටි නිවසටයි.

අදාළ අවස්ථාවේ ලක්ෂමන් වෙඩරුව මහතා නිවසේ සිට නොමැති අතර, ඔහුගේ රියැදුරු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ලක්ෂමන් වෙඩරුව මහතාගේ නිවසට අද පස්වරුවේ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද පැමිණියේය.

මේ අතර ගලෙන්බිඳුනුවැව, අලගොල්ලෑව ප්‍රදේශයේ තිබූ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා‍ගේ කාර්යාලයට අද අලුයම පැමිණි පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කාර්යාලය පවත්වාගෙන ගිය නිවසට ද එහිදී පහර දී ‍ඇති අතර, එම නිවසේ තිබූ යතුරුපැදියට ද හානි කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ අතර පොලොන්නරුව, අරලගංවිල පොලිස් බල ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාල 5 කට ඊයේ රාත්‍රී සහ අද අලුයම පහර දී තිබුණි.

අප වාර්තාකරු පැවුසවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කාර්යාල 2කට පහර දී හානි කර තිබූ බව ය.

මේ අතර ‍හෝමාගම, කැන්දලන්ද සහ මාගම්මන ප්‍රදේශවල දී ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන කාර්යාල දෙකකට අද අලුයම වෑන් රථයකින් පැමිණි පිරිසක් පහර දුන් බවට පොලීසියට පැමිණිලි කර තිබේ.

ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන  මහතාට සහය පළ කරන දෙල්ගොඩ පිහිටි මැතිවරණ කාර්යාලයක් ගිනි තබා විනාශ කර තිබුණේ අද අලුයමයි.

කදුබොඩ ප්‍රදේශයේ පැවති පක්ෂ කාර්යාලයකට ද හානි කර තිබුණි.

මුස්ලිම් මහජන සංවිධානය මගින් ඡන්දය ලබා දීම සඳහා සෑම දෙනෙකුටම ඇති අයිතිය පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදීමක් අතර තුර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රහාරය එල්ල වී තිබුණේ පුත්තලම නගරයේදී ය.

ඔවුන් චෝදනා කරන්නේ, එම්.කේ. බායිස් මහතා ඇතුළු පිරිසක් තමන්ට පහරදුන් බව ය.

එහිදී තුවාල ලැබූ තිදෙනෙකු පුත්තලම දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල් පිටිය මහතාට අයත්, පත්‍රිකා තොගයක් වැල්ලම්පිටියේ වෙළෙදසැලක තිබියදී පැහැරගෙන ගොස් තිබේ.

නාරම්මල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක රෝහණ දිනපුර්ණ මහතාට ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් පහරදී තිබේ.

ඒ, නාරම්මල පැවති රැස්වීමට සහභාගී වී යළි එමින් සිටියදී ය.

ඔහු දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය පිළිබඳව නාරම්මල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, කිසියම් පිරිසක් දඹදෙණිය, දම්පැලැස්ස සහ නාරම්මල ගල්වංගුව ප්‍රදේශයේ පිහිටි කාර්යාලය කිහිපයකට ද හානි කර ඇති බව ය.

ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීම සඳහා  මිත්‍ර යාත්‍රාව නමින් හම්බන්තොට සූරියවැවවේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ දැනුවත් කිරීමෙ වැඩසටහනට කිසියම් පිරිසකගෙන් බාධා එල්ල වී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ අනතුරුව පිරිස සූරියවැව පොලීසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ය.

කෙසේවෙතත් සූරියවැව ප්‍රාදේහීය සභා සභාපති එරන්ද ජානක මහතා පැවසුවේ, පැමිණි  පිරිස සිය කාර්යාලවලට පරහ දී කලබලයක් කිරීමට උත්සහ කළ බව ය.