ජනපති සහ මෛත්‍රීපාල සිරිසේන නව වසර සැමරූ අයුරු (VIDEO)

ජනපති සහ මෛත්‍රීපාල සිරිසේන නව වසර සැමරූ අයුරු (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

01 Jan, 2015 | 5:54 pm

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව වසරේ උදාවට සූදානම් වූයේ කතරගමදී ආගමික කටයුතුවල නිරතවෙමින් ය.

ප්‍රථමයෙන් කිරිවෙහෙර වැඳ පුදාගත් ජනාධිපතිවරයා පසුව කතරගම මහා දේවාලයේ පැවැති පූජාවට සහභාගි විය.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සිහිපත් කරමින් කතරගම පුද බිමේ වාර්ෂිකව පැවැත්වෙන පිරිත් පිංකමට ද ජනාධිපතිවරයා සහභාගී වූ බව ය.

නව වසරට ආශිර්වාද ලබාගැනීමට කතරගම පුදබිමට පැමිණි ජනතාවට සුබ පැතීමට ද ජනාධිපතිවරයා එහිදී අමතක නොකළේය.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නව වසරේ කටයුතු ආරම්භ කළේ, ආගමික කටයුතු වලට මූලිකත්වය දෙමින් ය.

අද උදෑසන කැලණි රජමහා විහාරයට පැමිණි මෛත්‍රීපාල සිරි‍සේන මහතා ආගමික වතාවත්වලින් අනතුරුව විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් ද බැහැ දුටුවේය.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා අද තවත් ආගමික ස්ථාන කිහිපකට ගොස් ආශිර්වාද ලබා ගත්තේය.