මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේ ද? (Special Report)

මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේ ද? (Special Report)

කර්තෘ Chathuranga Rajapaksha

29 Sep, 2014 | 8:17 pm

නුදුරේදීම පැවැත්වෙන ජනාධිපතිවරණයක් පිළිබඳව යළිත් දේශපාලන වේදිකාවේ අවධානය යොමුව තිබේ.

ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉඩක් තිබේ ද? එසේනම් කවදා ද?

මේ ඒ පිළිබඳව විමසා බැලීමකි.

අද පස්වරුවේ මහනුවර පැවති උත්සවයක් අතරවාරයේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ බොහෝ දුරට ලබන වසරේ ජනවාරි මාසයේ මීළඟ
ජනාධිපතිවරණය පැවැත්වීමට ඉඩ ඇති බව ය.

මෙරට පවතින විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන පරිච්ඡේදයේ ප්‍රථිපාදන සම්පාදනය වී තිබේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 6 කි.

එවැනි වාර දෙකක් ජනාධිපතිවරයාට ධුරය දැරිය හැකි බව එම ව්‍යවස්ථාවේ දැක්විය.

එහෙත් 2010 වසරේ සැප්තැම්බර් මාසයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කළ 18 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට දෙවරකට වැඩි වාර ගණනක් ධුරය දැරිය හැකි ය.

ජනාධිපතිවරයාගේ ධුර කාලය ආරම්භ වී වසර 4 ක් ගතවීමෙන් පසුව බලයේ සිටින ජනාධිපතිවරයාට කැමති ඕනෑම වේලාවක ජනතාවගෙන් යළි වරමක් ඉල්ලා සිටීමට 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අවස්ථාව සලසා තිබේ.

එසේ ජනවරමක් ඉල්ලා කරනු ලබන ප්‍රකාශය මැතිවරණ කොමසාරිස්වරයාට ජනාධිපතිවරණයක් පැවැත්වීම සදහා කරණ නියෝගයක් බව ද 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවන ධුර කාලය සදහා 2010 ජනවාරි මාසයේ 26 වන දා ජනතාවගෙන් යළි වරමක් ඉල්ලා සිටියේ පළමු ධුර කාලය ආරම්භ වී වසර 4 කට පසුවයි.

ඡන්දය ජනවාරි 26 වන දා පැවැත්වුණ ද ජනාධිපතිවරයා දෙවන ධුර කාලය සදහා දිවුරුම් දුන්නේ 2010 වසරේ නොවැම්බර් 19 වන දිනයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙරකර ඇති අර්ථ නිරූපනයට අනුව ජනාධිපතිතුමාගේ දෙවන ධුරකාලය 2010 නොවැම්බර් 19 වනදා සිට ආරම්භ වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය අනුව මේ වසරේ නොවැම්බර් 19 වන දා මධ්‍යම රාත්‍රියෙන් පසුව ජනාධිපතිවරයාට තෙවන ධුර කාලයක් සඳහා ජනතාවගේ වරමක් ඉල්ලා සිටිය හැකි ය.