දම්පල් රිය සැරිය දැකබලා ගැනීමට කුරුණෑගලදී විශාල පිරිසක් (Video)

දම්පල් රිය සැරිය දැකබලා ගැනීමට කුරුණෑගලදී විශාල පිරිසක් (Video)

කර්තෘ Chathuranga Rajapaksha

08 Sep, 2014 | 10:03 pm

බුදු දහම සුරැකීම උදෙසා සුවිශේෂී මෙහෙයක් කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වන ගුණ සමරුවට සමගාමීව පැවැත්වෙන දම්පල් රිය සැරිය අද ආරම්භ විය.

ධර්මපාලතුමාගේ ධර්ම ප්‍රචාරක රථය වන සෝබන මාළිගාව රටපුරා රැගෙනයාම එහිදී සිදුවේ.

ශ්‍රී ලංකා මහා බෝධි සංගමය හා නිව්ස්ෆස්ට් එක්ව මෙය සංවිධාන කරනු ලැබේ.

අද පෙරවරුවේ, මරදාන මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරස්ථානය හෙවත් මහාබෝධි මූලස්ථානයෙන් දම්පල් රිය සැරිය ගමන් ආරම්භ කළා.

ඒ ආගමික වතාවත්වලින් අනතුරුවයි.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි

[quote]ගමක් ගමක් පාසා ගිහිල්ලා ‍අපේ නිදාගෙන හිටපු සිංහල ජාතිය අවදි කරා. නැවතත් අ‍පේ සිංහල ජනතාව දැනුවත් කරලා ඒ අය මේ දම්පල් දර්ශනය කියා දෙන්න තමයි අද මේ සිරස සමග අපි අත්වැල් බැඳගෙන මේ ගමන යන්නේ ඒ නිසා මේ දම්පල් රිය සැරිය අපි විශ්වාස කරනවා සියලුම දෙනාට දැකබලා සන්තෝස වෙන්න පුළුවන්.[/quote]

මෙම රථයේ මුල් ලියාපදිංචි ලිපි ලේඛන පවා අදට ත් සුරක්ෂිතව පවතී.

නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමි

[quote]මහාබෝධි ඉතිහාසය තුළ කරපු වැඩවලින් ශ්‍රේෂ්ඨම විශිෂ්ට ම වැඩේ තමයි මේ පැරණි රථය අනාගත පරපුරට පරපුරෙන් පරපුරට හදලා දැක බලා ගන්නට අවස්ථාව සලසා දීම පරණ පිංතූර ඒ වගේ ම පොත්පත්වලින් හොයාගෙන ඒ විදියටම මේ ආකෘති හදලා ඒ මේ නිර්මාණය අපට අවසන් කරන්න ලැබුණේ.[/quote]

මහාබෝධි මූලස්ථානයෙන් ගමන් ඇරඹි දම්පල් රිය සැරියේ පළමු නැවතුම් ස්ථානය වූයේ කිරිබත්ගොඩයි.

කඩවත, යක්කල, නිට්ටඹුව, පොල්ගහවෙල, හරහා ගමන් ගත් රිය සැරිය දැකබලා ගැනීමට කුරුණෑගලදී විශාල පිරිසක් එක්වූහ.

හෙට අනුරාධපුර සාම විහාර‍යේ දී සැදැහැවතුන්ට දම්පල් රිය සැරිය නැරඹිය හැකි ය.

අනිද්දා දඹුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේත්, 11 වැනිදා මහනුවර ගැටඹේ රාජෝපවනාරාමයේත්, 12 වැනිදා බණ්ඩාරවෙල පුෂ්පාරාමයේත්, 13 වැනි දින රත්නපුර ශ්‍රී විශුද්ධාරාමයේත්, 14 වන දා ඇඹිලිපිටිය ‍බෝධිරුක්ඛාරාම විහාරයේත් සෝබන මාළිගාව ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.

මාතර, අම්බලන්ගොඩ හරහා දම්පල් රිය සැරිය 17 වන දා යළි මරදාන මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයට ළඟාවේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]