දෙහිවල සත්ත්වෝද්‍යානයේ සතුන් මිය ගියේ ඇයි?

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සතුන් මිය ගියේ ඇයි?

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සතුන් මිය ගියේ ඇයි?

කර්තෘ Kumudu Jayawardana

16 Jul, 2014 | 3:53 pm

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සතුන් මිය ගියේ ස්වාභාවික හේතු නිසා බව ජාතික සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂ අනුර ද සිල්වා මහතා පවසයි.

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සතුන් මිය යාම පිළිබඳ තත්ත්වය පැහැදිලි කරමින් ඔහු ප්‍රකාශ කළේ, පසුගිය වසර 2ක කාලය තුළ මිය ගිය සතුන් සංඛ්‍යාව සහ එම සතුන් මිය යාමට හේතු වූ කරුණු විශ්ලේෂණය කරමින් සකස් කරන ලද දත්ත ඇතුළත් වාර්තාවක් මගින් මෙම කරුණු අනාවරණය වී ඇති බව ය.

මෙම දත්තවලට අනුව පසුගිය වසර 2ක කාලය තුළ මිය ගිය සතුන්ගෙන් 36%ක ප්‍රතිශතයක් මිය ගොස් ඇත්තේ, වයස්ගත වීම, උපතේදී ඇති වන විකෘති තත්ත්වයන්, උපතට පෙර මිය යාම, උපත් බර අඩුවීම, උපතේදී ඇති වන රෝගී තත්ත්වයන් සහ ස්වභාවික සංසිද්ධි හේතුවෙනි.

එබැවින් මෙම මරණවලට ප්‍රධාන හේතුව රෝගය නිසි පරිදි හඳුනා නොගැනීම හෝ නිසි ප්‍රතිකාර ලබා නොදීම නොවන බව ජාතික සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

සත්ත්වෝද්‍යානය තුළ ඕනෑ ම සතෙකු මිය ගිය විට විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන බව ඔහු පැවසීය.

පසුගිය වසර 2ක කාලය තුළ මිය ගිය සම්පූර්ණ සතුන් සංඛ්‍යාව 141ක් වන අතර, එයට පක්ෂීන් 69ක් ඇතුළත් වේ.

මෙම පක්ෂීන්ගෙන් බහුතරයක් දුර්ලභ ගණයේ සත්ත්වයින් නොවන එනම් අලංකාරය සඳහා රඳවාගෙන සිටි බජරිගාර්, අලු ගිරවා, ලබු ගිරවා සහ හැඳි අළුවා වැනි පක්ෂීන් බව වාර්තාවේ සඳහන් ය.

ක්ෂීරපායී සත්ත්වයින් 56% ක් මිය ගොස් ඇත්තේ වයස්ගත වීම, උපතේදී ඇතිවූ විකෘති තත්ත්වයන් හා උපතේදී ඇතිවූ රෝගී තත්ත්වයන් වැනි පාලනයෙන් බැහැර හේතු මත බව එම වාර්තාවේ උපුටා දක්වමින් අනුර ද සිල්වා මහතා සඳහන් කරයි.