ශ්‍රී ලංකාව පිළිබඳ එ.ජා. පරීක්ෂණ කමිටුවේ සාමාජිකා අස්මා සමග බී.බී.සී. සංදේශය සිදුකළ සාකච්ඡාව

ශ්‍රී ලංකාව පිළිබඳ එ.ජා. පරීක්ෂණ කමිටුවේ සාමාජිකා අස්මා සමග බී.බී.සී. සංදේශය සිදුකළ සාකච්ඡාව

කර්තෘ Sagarika Chathumali

01 Jul, 2014 | 8:34 pm

ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ චෝදනා සහ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් සියලු පාර්ශවවලින් අදහස් විමසීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කමිටුවේ සාමාජිකා අස්මා ජෙහන්ගිර් පවසයි.

පකිස්ථානයේ ජ්‍යේෂ්ඨ නීතිවේදිනියක වන ඇය මේ බව පැවසුවේ,  බී.බී.සී. සන්දේශය සමඟ පැවති සාකච්ඡාවකදී ය.

සන්දේශය ප්‍රශ්නය: ඔබ මේ පරීක්ෂණවල අරමුණ හා ස්වභාවය විස්තර කරන්නේ කෙසේ ද?

පිළිතුර: මුලිකව ම පරීක්ෂණ හා විභාග ස්වාධීන යි ද කියන දේ සහතික කරන්න මහ කොමසාරිස්වරිය හරහා ලැබුණු නිර්දේශය. මානව හිමිකම් උල්ලංඝනය කරපු සෑම පාර්ශවයක් සම්බන්ධයෙන් ම සාධාරණව හා අපක්ෂපාතීව මේ පරීක්ෂණ සිදු කෙරෙන්නේ.

සන්දේශය ප්‍රශ්නය: ශ්‍රී ලංකා ආණ්ඩුව මේ පරීක්ෂණවලට සහයෝගය දීම ප්‍රතික්ෂේප කරනවා. මේ පරීක්ෂණවලට ශ්‍රී ලංකාව තුළ සිටින කුමන හෝ අයෙක් සහයෝගය දෙන්නේ නම් එය වළක්වන්න ශ්‍රී ලංකා ආණ්ඩුව උත්සහ කරයි කියලා, මත පල වෙනවා. ඒක මේ පරීක්ෂණවලට බාධාවක් විය හැකි ද?

පිළිතුර: වගකීම පිළිබඳ කතා කරනවා නම් ඔව්. ඒක ප්‍රශ්නයක් වෙනවා. මේ පිළිබඳ සැලකිල්ල දක්වන්න අවශ්‍යයි කියන කාරණාව ආණ්ඩුව දකියි කියලා මම හිතනවා.

සන්දේශය ප්‍රශ්නය: ලංකාවේ ආණ්ඩුව ඔබට වීසා ගමන් බලපත්‍ර නිකුත් නොකර හිටියොත් හෝ තොරතුරු ලබා දෙන්න කැමති පුද්ගලයන් පරීක්ෂණ කණ්ඩායම සමග ක්‍රියා කිරීම වළක්වන සේ ආණ්ඩුව කටයුතු කළ හොත් ඔබ කොහොම ද ශ්‍රී ලංකාවේ සිටින මිනිසුන්ට කතා කරන්නේ ?

පිළිතුර: මට ඔබට ඒ දේ පිළිබඳ මෙහෙම කියන්න පුළුවන්. රටක ආණ්ඩුවේ සහයෝගයකින් තොරව සිදු වූ අන්තර් ජාතික පරීක්ෂණ මීට පෙරත් සිදු වෙලා තියනවා. සහයෝගය නැති වුණා කියලා ඒ පරීක්ෂණ නැවැත්තුවේ නැහැ. මිනිස්සු මේ සම්බන්ධයෙන් කතා කිරීම නවත්තන්න ඕනෑම ආණ්ඩුවකට ඉතාමත් අපහසු වෙයි කියලා මම හිතනවා. මිනිසුන් තොරතුරු ලබා දීම ආණ්ඩුව  වළක්වන්න හැදුවොත් ඒ හරහා ආණ්ඩුවේ තත්ත්වය තව ත් උග්‍ර වීම පමණයි සිද්ධ වෙන්නේ.

සන්දේශය ප්‍රශ්නය: ශ්‍රී ලංකා ආණ්ඩුව වීසා ගමන් බලපත්‍ර නොදුන්නත් ඔබට පරීක්ෂණ සිදු කර ගෙන යාමට හැකියාව තිබෙනවා ද යන්න පිළිබඳ ඔබට විශ්වාසයි කියන කාරණය ද ඔබ කියන්නේ?

පිළිතුර: මට ලොකු විශ්වාසයක් තියනවා. මම සහභාගී වෙන, එක්සත් ජාතීන් විසින් පවත්වනු ලබන හා ආණ්ඩුව සහයෝගය ලබා නොදුන් පළමු පරීක්ෂණය මේක නොවෙයි. අවසානයේදී අපිට විශ්වාසය තැබිය හැකි වාර්තාවක් ලැබුණ විට එය පිළිගත හැකි ස්වාධීන වාර්තාවක් විදිහටයි එය සලකන්නේ.

සන්දේශය ප්‍රශ්නය: නමුත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තීරණය කරලා තියනවා මේ පරීක්ෂණවලට සහයෝගය දෙන්නේ නැහැ කියලා. ඔබට තව ම ත් ඔවුන් සමග මේ සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තුවක් තියනවා ද ?

පිළිතුර: මම හිතනවා අගෝස්තු මාසයේ අපි රැස් වෙලා ඒ පිළිබඳ තීරණය කරන්න අවශ්‍ය යි. ආණ්ඩු බොහෝ වෙලාවට මේ වගේ දේවල්වලට කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් අවසානයේ ආණ්ඩුව මේ පරීක්ෂණ පවත්වන්න හේතු වූ කාරණය දෙස අවධානය යොමු කරන්න පටන් ගන්නවාට වඩා මේ සිදුවීම්වල තියන කෲරභාවය පිළිබඳ අවධානය යොමු කරයි.
ඒ අවස්ථාවේදී ඔවුන් වටහ ගන්නවා. අපි තොරතුරු ලබා ගන්න උත්සහ කරන්නේ තොරතුරු කියන්න කැමති හා ආණ්ඩුවට එරෙහිව සාක්ෂි තියන පුද්ගලයන්ගෙන් පමණක් නොවෙයි කියන දේ. යම් කිසිවෙක් රාජ්‍ය විරෝධී කටයුතු කළා කියලා කිසිවකු සතුව සාක්ෂි තිබේ නම් අපි ඒ අයට ත් කතා කරනවා. මම හිතන්නේ මේ පරීක්ෂණවල ස්වාධීනත්වයට ඒක අතිශය වැදගත්.

සන්දේශය ප්‍රශ්නය: ඔබ කුමන ආකාරයේ පුද්ගලයන්ට ද කතා කරන්නේ තොරතුරු ලබා ගන්න ?

පිළිතුර: අපි නිශ්චිතව ම කතා කරන්නේ අපරාධයට ගොදුරු වූ තැනැත්තාට. ඒක අනිවාර්ය යි. ඒ වගේ ම තමයි මේ අපරාධ සිදු වුණු කාලයේ තීරණ ගැනීමේ බලය තිබුණ පුද්ගලයන්ට කතා කරන්න අවශ්‍ය යි. ඔවුන් ගේ අදහස් දැන ගන්න. කිසියම් අයෙක් මේ පිළිබඳ කතා කරන්න ඉදිරිපත් නොවෙන්න පුළුවන්. ඒ වගේ ම රහසිගතව නම් හෙළි නොකර ඉදිරිපත් වෙන අය ත් ඉන්නවා. අපේ වගකීම තමයි. ඒ රහස්‍යභාවය ආරක්ෂා කිරීම. අපි සටන්කරුවන්ට කතා කරනවා. අපි ලංකාවට ගියොත් පොලිසියට කතා කරනවා. එහෙම නොවුණත් රජයේ නොවන ආයතන, මාධ්‍ය හා සිවිල් සංවිධාන වගේ වෙනත් පාර්ශවවලින් තොරතුරු ලබා ගන්න වෙනවා.

සන්දේශය ප්‍රශ්නය: මේ සම්බන්ධව ආරම්භක වාර්තාව සම්පුර්ණ කර දීමට ඔබට ඉතා කෙටි කාලයක් තිබෙන්නේ

පිළිතුර: ඔව්. අපිට ලබන වසරේ මාර්තු මාසය වෙන කොට මානව හිමිකම් කොමිසමට වාර්තාව ලබා දෙන්න අවශ්‍ය යි. අපි ඒකට හැකි උපරිමයෙන් උත්සහ කරනවා. දෙපාර්ශවයෙන් තොරතුරු ලබා ගන්න හා විශ්වසනීයත්වයෙන් යුතු සාක්ෂි ලබා ගන්න මේ වෙන කොට අපිට අවශ්‍ය තරම් විශේෂඥයන් ඉන්නවා. අපිට ආරම්භක වාර්තාව අවසාන කර ගත නොහැකි උනොත් අපි ඒක මාර්තු මාසයේ මානව හිමිකම් කොමිසමට දන්වන්න අවශ්‍යයි.