කොළඹ, ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වෙයි (VIDEO)

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වෙයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

01 Jul, 2014 | 7:48 pm

දෙදෙනෙකුට මරු කැඳවමින් කොළඹ, ග්‍රෑන්ඩ්පාස්  ඇන්ඩෘගේ වත්තේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි, පොලිසිය පවසයි.

පෙරේදා රාත්‍රී 8.00ට පමණ  සිදුවූ වෙඩි තැබීමෙන්  මිය ගිය දෙදෙනාගේ සිරුරු මේ වනවිට ඔවුන්ගේ  නිවෙස්වල තැන්පත් කර තිබේ.

පොලිසිය පැවසුවේ, පශ්චාත් මරණ පරීක්ෂණවලදී  එම මරණ වෙඩි වැදීමෙන් සිදුවූ ඒවා  බවට තහවුරු වී ඇති බව ය.

මෙලෙස මිය ගියේ 28 හැවිරිදි එක් දරු පියකු වන උස්වත්තගේ ජනිත් චාමර සහ 26 හැවිරිදි විවාහකයෙකු වන සුබසිංහ ආරච්චිගේ කාවින්ද කැළුම් යන දෙදෙනා ය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 33 හැවිරිදි ශෂි කුමාර් සහ 27 හැවිරිදි චාමර සම්පත් රුද්‍රිගු බරපතළ තුවාල ලබා මේ වන විට ත්  ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා මහතා පැවසුවේ, ඔවුන් මේ වන විටත් බරපතළ තත්ත්වයෙන් පසුවන බව ය.

වෙඩි තැබීමට පැමිණි යතුරු පැදිය කාණුවකට වැටීම  නිසා අසල තිබූ ත්‍රිරෝද රථයක් පැහැරගත්  සැකකරුවන්  පලා ගොස් තිබුණි.

සැකකරුවන් එලෙස පලා ගිය ත්‍රිරෝද රථය පෑළියගොඩ අධිවේගී මාර්ගය ආසන්නයේ දමා ගොස්  ඇත.

ඝාතකයින් පැමිණි බව කියන යතුරු පැදියේ හිමිකරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු බව හෙළිවී තිබේ.

එම  සිසුවා  පසුගිය වසරේ සැප්තැම්බර් මස 6 වන දා පේරාදෙණියේ සිට සපුගස්කන්දේ මිතුරෙකු හමුවීමට මෙම යතුරු පැදියෙන් පැමිණ ඇති අතර එදින මිතුරාගේ නිවසට ගොස් යළි පිටතට පැමිණෙන විට ඔහුගේ යතුරු පැදිය සොරකම් කර තිබේ.

පොලිසිය පැවසුවේ, එම සිදුවීම සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසියේ පැමිණිල්ලක් ද ඇති බව ය.

අද දිනයේ යතුරු පැදියේ හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් අතර මෙම යතුරු පැදිය වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරුවන් භාරයට පත්වූයේ කෙසේ ද? යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

යතුරු පැදි‍යේ අංකය ව්‍යාජ එකක් බව ද පොලිසිය ඊයේ පස්වරුව වන විට තහවුරු කර ගෙන තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]