ජීවිතාන්තය තෙක් තහනමකට ලක්වූ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක ලූ වින්සන්ට් හෙළි කළ සංවේදී හෘද සාක්ෂිය (VIDEO)

ජීවිතාන්තය තෙක් තහනමකට ලක්වූ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක ලූ වින්සන්ට් හෙළි කළ සංවේදී හෘද සාක්ෂිය (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

01 Jul, 2014 | 2:24 pm

තරග පාවා දීමේ චෝදනාවලට වැරදිකරු වීම හේතුවෙන් නවසීලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලූ වින්සන්ට්ට (Lou Vincent) ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවා‍ තිබේ.

ඒ, 2011 වසරේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී තරග පාවා දීම් සිදුකළ බව ඔප්පු වීම හේතුවෙනි.

2007 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් 35 හැවිරිදි ලූ වින්සන්ට් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 23කට සහ එක්දින තරග 102කට ක්‍රීඩා කර තිබිණි.

ඔහු විශේෂ නිවේදනයක් මගින් තමන් වසර ගණනක් හිතේ සිර කරගෙන සිටි රහසක් හෙළි කර ඇත.

ඔහු පවසා ඇත්තේ, එම අඳුරු රහස්වල තමන් වසර ගණනක් සිරවී පීඩා විඳිමින් සිටි බව ය.

ඔහුගේ සංවේදී ප්‍රකාශයේ කරුණු කිහිපයක් පහත දැක්වේ.

“මගේ නම ලූ වින්සන්ට්, මම රැවටිලිකාරයෙක්. තරග පාවාදීම් හරහා මුදල් ඉපයීම සඳහා අවස්ථා ගණනාවකදී මගේ වෘත්තීය ක්‍රීඩාව මම අපයෝජනයට ලක් කළා.” (“My name is Lou Vincent and I am a cheat. I have abused my position as a professional sportsman on a number of occasions by choosing to accept money through fixing,”)

“මම මගේ රට නින්දාවට පත් කළා. මම මගේ ක්‍රීඩාව වගේ ම මගේ සමීපතයින් සියලු දෙනා නින්දාවට පත් කළා. ඒ නිසා ක්‍රීඩකයෙකු ලෙස මට ආඩම්බර වෙන්න බැහැ.” (“I have shamed my country, I shamed my sport, I have shamed those close to me. And for that, I am not proud.”)

“මගේ සැබෑ ක්‍රීඩා ලෝලීන්ගෙන්, මහජනතාවගෙන්, පුහුණුකරුවන්ගෙන්, අතීත සහ වර්තමාන ක්‍රීඩකයින්ගෙන් අද මම සමාව ඉල්ලනවා.” (“Today is the day I offer my deepest, deepest apologies to the public and the cricketing world, to the loyal fans, to the dedicated coaches, staff, players past and present,”)

“මම මානසික අවපීඩනයකට ලක්වෙලා ඉන්නෙ. ඒක මම කරපු වැරදිවලට සමාවක් දෙන්න තරම් හේතුවක් නොවෙයි.” (“I do suffer from depression – that is absolutely no excuse for all I’ve done wrong.”)

“ඒක සම්පූර්ණයෙන් මගේ වරදක්. ඒ නිසා ආපසු මට ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියේ සිටගත නොහැකියි. අනාගත ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් යමක් කරන්න ත් මට මේ වැරදි හරහා ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒත් මට එක දෙයක් කළ හැකියි. වැරදි කිරීමට පෙළ‍ඹෙන්න එපා කියන පණිවිඩය මට අලුත් ක්‍රීඩකයින්ට පෙන්වා දිය හැකියි.” (“It is entirely my fault and I’ll never be able to stand in front of a game again, it’s entirely my fault that I will not be able to apply my skills in a positive way to help future cricketers, but it is entirely possible that I can use this moment to convince others not to be tempted by wrongdoing.”)

ලූ වින්සන්ට් නවසීලන්තය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස් කළ ලකුණු 73ක ඉනිමෙහි විශේෂ අවස්ථා පහත දැක්වේ.

SOURCE: AAP