වැසිකිළියක් තුළදී පොලිස් සැරයන්ගේ නළලට වෙඩි වැදුණු හේතුව තව ම ත් අභිරහසක් (VIDEO)

වැසිකිළියක් තුළදී පොලිස් සැරයන්ගේ නළලට වෙඩි වැදුණු හේතුව තව ම ත් අභිරහසක් (VIDEO)

කර්තෘ Sagarika Chathumali

01 Jul, 2014 | 8:02 pm

කුරුණෑගල පොලිස් ස්ථානයේ වැසිකිළියක් තුළදී පොලිස් සැරයන්වරයකුගේ හිසට වෙඩි වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල සහකාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන්  විශේෂ කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අද උදෑසන 8.30ට පමණ මෙම සිදුවීමට මුහුණ පෑවේ කුරුණෑගල පොලිස් ස්ථානයට අනුයුක්ත ගොකරැල්ල, අරංකැලේ පදිංචි 52 හැවිරිදි තිදරු පියෙකු වන සුසිල් ජයසුන්දර නම් පොලිස් සැරයන්වරයෙකි.

ඔහු ඊයේ සවස  කුරුණෑගල පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ උප සේවක ලෙස ඊයේ රාත්‍රි රාජකාරියේ යෙදී සිටි බව පොලිසිය පවසයි.

අදාළ සැරයන්වරයාගේ රාත්‍රී සේවය අවසන් වීමට නියමිතව තිබී ඇත්තේ, අද උදෑසන 5.55ට යි.

රාත්‍රි 9.45ට පමණ විවිධ පැමිණිලි අංශය වෙත අවසන් පැමිණිල්ල ලැබී තිබුණු අතර පසු දා පහන් වන තුරු ඔහු පොලිසිය තුළ විවේකයෙන් සිටි ඇති බවට වාර්තා ඇතැයි, පොලිසිය පවසයි.

අද උදෑසන ද  කුරුණෑගල නගරයේ ආරක්ෂක රාජකාරී සඳහා මෙම සැරයන්වරයා ඇතුළුව තව ත් සිව් දෙනෙකු යොමුකර තිබේ.

පොලිසිය පැවසුවේ, අනෙක් නිලධාරීන් තිදෙනාට එම රාජකාරිය  සඳහා පිටත්වන ලෙස පවසා ඔහු පිරිමි වැසිකිළියට ගොස් තිබූ බව ය.

ඒ  නගර ආරක්ෂක රාජකාරී සඳහා පිටවීමේ සටහන් තැබීමෙන් ද අනතුරුව බව පොලීසිය පැවසී ය.

පිරිමි වැසිකිළිය තුළදී ඔහුගේ නළලට උඩින් වෙඩි උණ්ඩයක් වැදී තිබූ අතර තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ප්‍රතිකාර සඳහා අතුළත් කෙරුණේ කුරුණෑගල ශික්ෂණ රෝහලට ය.

අදාළ සැරයන්වරයා වසර 25ක් තිස්සේ පොලිස් සේවයේ නිරත වූ අයෙකු වන අතර ඔහුගේ සේවය සම්බන්ධ ගැටලුවක් මීට පෙර  වාර්තා වී නැතැයි, පොලිසිය පැවසී ය.

ඔහු පසු ගිය ජනවාරි මස  4 වන දා සිට කුරුණෑගල පොලිසියේ සේවයට අනුයුක්ත කර ඇති අතර ඊට පෙර කන්තලේ පොලිසියේ සේවය කර තිබුණි.