ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර නොලැබුණ ද මානව හිමිකම් චෝදනා පිළිබඳ පරීක්ෂණ පැවැත්විය හැකියි – එ.ජා. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (Exclusive)

ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර නොලැබුණ ද මානව හිමිකම් චෝදනා පිළිබඳ පරීක්ෂණ පැවැත්විය හැකියි – එ.ජා. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (Exclusive)

කර්තෘ Chathuranga Rajapaksha

20 Jun, 2014 | 7:18 pm

ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර නොලැබුණ ද යුද අපරාධ සම්බන්ධයෙන් නැගෙන චෝදනා පිළිබඳව විමර්ශනය සිදුකෙරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසයි.

නිව්ස්ෆස්ට් යොමුකළ ප්‍රශ්න කිහිපයකට ඊ-මේල් පණිවුඩයක් මගින් පිළිතුරු දෙමින් එම කාර්යාලයේ ප්‍රකාශක රූපට් කොල්විල් මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ලබාදීම වඩා සුදුසු බව ය.

ඒ සදහා ඉඩක් නොලැබුණ ද පරිපූර්ණ විමර්ශනයක් කිරීමට හැකියාව ඇතැයි ඔහු අවධාරණය කළේය.

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවකට අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමක් පැමිණීම ප්‍රතික්ෂේප කරමින් පෙරේදා පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත විය.

නිව්ස්ෆස්ට් වෙත ඊ-මේල් පණිවුඩයකින් අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රකාශක රූපට් කොල්විල් මහතා පෙන්වා දුන්නේ සිරියාව සහ උතුරු කොරියාව සම්බන්ධයෙන් ක්‍රියාකළ අයුරින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද පූර්ණ පරීක්ෂණයක් කළ හැකි බව ය.

රටට ඇතුළුවීමට අවසර නොලැබුණ ද සිරියාව හා උතුරු කොරියාවේ මහාපරිමාණ මානව හිමිකම් උල්ලංඝනයවීම් පිළිබඳව කණ්ඩායම් දෙකක් විමර්ශන සිදුකළ බව ඔහු සඳහන් කළේය.

එහිදී ඉතා වැදගත් සාක්ෂි සමග සවිස්තර වාර්තාවක් ඉදිරිපත්කිරීමට හැකිවූ බවද රූපට් කොල්විල් මහතා පෙන්වා දෙන්නේය.

ඔහු සිය ඊ-මේල් පණිවුඩයේ වැඩි දුරට ත් සඳහන් කර ඇත්තේ රටවල්වලට ඇතුළු වීමට අවස්ථාව ‍නොලැබෙන විට පරීක්ෂණ කළ යුතු ක්‍රමවේදයක් වසර කිහිපයක් සිට සකස් කර ඇති බව ය.