ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැනට

ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැනට

ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැනට

කර්තෘ Sagarika Chathumali

04 Jun, 2014 | 7:12 pm

එංගලන්තයට එරෙහි ‍එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම ත් සමග ශ්‍රී ලංකාව අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම 2006 වසරින් පසු ව එංගලන්තයේදී එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගත්තේ පළමුවැනි වරට යි.

බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ පැවැති 5 වැනි සහ අවසන් තරගයේ කාසි‍යේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය වෙනුවෙන් නායක ඇලෙස්ටෙයාර් කුක් ලකුණු 56ක් රැස් කළේ ය.

එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 76 දී බිඳ වැටුණ ද ඔවුන්ගේ අවසන් කඩුලු 5 දැවී ගියේ ලකුණු 49 ක් තුළ යි.

7 වැනි කඩුල්ල ලෙස කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් දැවී ගියේ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර ‍සේනානායක පන්දුව යොමු කිරීමට පෙර සීමාවෙන් ඉවතට යාම හේතුවෙනි.

බට්ලර් එම පන්දුවාරයට පෙර අවස්ථා දෙකකදී අදාළ වරද  සිදු කිරීම නිසා විනිදුරු විසින් අවවාදයක් ලබා දී තිබූ අතර නැවත  සීමාවෙන් ඉදිරියට පැමිණි ඔහුව සචිත්‍ර සේනානායක දවා ගත්තේ ය.

ලසිත් මාලිංග පන්දුවාර 9 යි එක් පන්දුවකදී ලකුණු 50 කට කඩුලු 3ක් රැස් කළේ ය.

එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 219 කි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු තුන ලකුණු 62කදී බිඳ වැටීමෙන් අනතුරුව මහේල ජයවර්ධන සහ ලහිරු තිරිමාන්න සිව්වැනි කඩුල්ලට ලකුණු 98ක සබඳතාවක් ගොඩනැගී ය.

72 දෙවනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ මහේල ජයවර්ධන ලකුණු 53 ක් රැස් කළේ ය.

ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 60ක් රැස් කළ අතර නායක ඇන්ජලෝ මැතිව්ස් රැස් කළ ලකුණු 42කි.

පන්දුවාර 48යි පන්දු2ක දී  කඩුලු 4ක් දැවී ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ය.

තරගයේ වීරයා සම්මානය ලහිරු තිරිමාන්න දිනා ගනා ගත් අතර තරගාවලියේ වීරයා ලසිත් මාලිංග නම් කෙරිණ.

ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගත්තේ තරග 3ට 2ක් ලෙසිනි.

දෙරට අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජුනි 12 වැනි දා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී අරම්භ වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]