‘සුපර් ෆයිටර්’ අර්ධ අවසන් පූර්ව වටය හෙට ගාලු කොටු පවුරේදී ඇරඹෙයි

‘සුපර් ෆයිටර්’ අර්ධ අවසන් පූර්ව වටය හෙට ගාලු කොටු පවුරේදී ඇරඹෙයි

කර්තෘ Sagarika Chathumali

28 May, 2014 | 8:38 pm

සුපර් ෆයිටර් අර්ධ අවසන් පූර්ව වටයේ පළමු අදියරේ තරග හෙට ගාලු කොටු පවුර මත අනර්ඝ බොක්සිං කවයකදී පැවැත් වේ.

මෙරට ක්‍රීඩා ඉතිහාසයේ මෙවැනි ස්ථානයකදී බොක්සිං තරගාවලියක් ‍ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය යි.

නිවුස්ෆස්ට්, කැපිටල් මහරාජා සංවිධානය, එම්.ඒ.එස්. හෝල්ඩින්ස් ආයතනය එක් ව සංවිධානය කරන සුපර් ෆයිටර් රියැලිටි ක්‍රීඩා වැඩසටහනේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු අදියර හෙට ගාලු කොටු පවුර මත පස්වරු 2.30ට ආරම්භ වේ.

බර පන්ති 4ක් ය‍ට‍තේ ක්‍රියාත්මක වන සුපර් ෆයිටර් වැඩසටහනේ අර්ධ අවසන් පූර්ව වටයට තේරී සිටින ක්‍රීඩකයින් සංඛ්‍යාව 32කි.

මෙම ක්‍රීඩකයින්ට පසුගිය සති දෙක තුළදී නේවාසික පුහුණුවක් ලබා දුන් අතර අර්ධ අවසන් පූර්ව වටයේ දෙවැනි අදියර ලබන සෙනසුරාදා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත යි.

සුපර් ෆයිටර් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ක්‍රීඩකයින් 16 දෙනා සඳහා ක්‍රීඩා ලෝලීන්ගේ එස්.එම්.එස්. මනාපය ලබා දීමට අවස්ථාව ලබා දී තිබීම විශේෂත්වයකි.

ක්‍රීඩකයින්ට අදාළ අංක ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි.

ලබන සෙනසුරාදා පැවැත්වෙන සුපර් ෆයිටර් තරගාවලියට සමගාමීව සිරස සුපර් ස්ටාර් අවසන් ගායන තරු සහභාගී වන සංගීත ප්‍රසංගයක් ද ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ක්‍රීඩාව සහ සංගීතය එකම වේදිකාවකදී ප්‍රේක්ෂකයන්ට ලබා දෙන මෙරට පළමු අවස්ථාව මෙය යි.