ඝාතනයට ලක් වූ මාතලේ තරුණිය අවසන් ගමන් යයි (VIDEO) : වැඩිමහල් සොයුරා ගැන පොලීසියට සැකයක්

ඝාතනයට ලක් වූ මාතලේ තරුණිය අවසන් ගමන් යයි (VIDEO) : වැඩිමහල් සොයුරා ගැන පොලීසියට සැකයක්

කර්තෘ Sagarika Chathumali

28 May, 2014 | 8:19 pm

ඉකුත් ඉරිදා ඝාතනයට ලක් වූ මාතලේ වරාපිටියේ පදංචිව සිටි ලලනි නිශානි වරාපිටිය මෙනවියගේ දේහය අද මාතලේ නගර සභා පොදු සුසාන භූමියේ මිහිදන් කෙරිණ.

ඉකුත් සෙනසුරාදා නිවසේ සාදයකින් පසු රාත්‍රී නින්දට ගිය එම තරුණිය පසුදා දක්නට නොලැබීම නිසා ඇගේ සොහොයුරෙකු ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබුණි.

ඒ අනූව ඉරිදා උදෑසන තරුණියගේ නිරුවත් සිරුර සොයා ගැනුණේ නිවසේ සිට මීටර 150 ක් පමණ දුරින් පිහිටි ළඳු කැළෑවක තිබියදී ය.

ඇය අතවරයකට ලක්වී නොමැති බව ත් හිසට මොට ආයුධයකින් පහර දී ඇති බව ත් පොලීසිය ප්‍රකාශ කළේ ය.

ඝාතනයට ලක්වූ 23 හැවිරිදි ලලනි නිශානි වරාපිටිය බාහිර උපාධි අපේක්ෂිකාවක වන අතර ඇය සිවු දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ද වන්නී ය.