ජනපතිගෙන් බැන්කි මූන්ට ආරාධනාවක්

ජනපතිගෙන් බැන්කි මූන්ට ආරාධනාවක්

කර්තෘ Chathuranga Rajapaksha

21 May, 2014 | 7:00 pm

ශ්‍රී ලංකාවට යළි පැමිණ අත්කරගෙන ඇති ප්‍රගතිය සියසින් දැක ගන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කි මූන් මහතාට යළි ඇරයුම් කළේය.

ජනාධිපතිවරයා මේ ආරාධනය කළේ, චීනයේ ෂැංහයි නුවරදි  අද පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හමුවූ අවස්ථාවේදී ය.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ 4වන සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා චීනයට ගියේය.

ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ 2009 වසරේ බැන්කි මූන් මහතාගේ සංචාරයෙන් පසුව මේ දක්වා ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබදව ජනාධිපතිවරයා එහිදී පැහැදිලි කළ බව ය.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කො‍මිසමේ ප්‍රගතිය පිළිබදව බැන්කි මූන් මහතා දැනුවත් කර ඇති ජනාධිපතිවරයා එහි නිර්දේශවලින් සියයට 30 ක් පමණ ක්‍රියාත්මක කර ඇති බව අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එහි ඇති  ඉඩම් හිමිකම් සම්බන්ධ ගැටලු විසදීම සදහා කාලය අවශ්‍ය බව ය.

යුද සමයේ සිදුවූ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් නැගෙන චෝදනා පිළිබද අභ්‍යන්තර ක්‍රියාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බවද ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට අවධාරණය කර තිබේ.

ජාත්‍යන්තර පරීක්ෂණයක් ශ්‍රී ලාංකික ජනතාවගේ දැක්මට අනුකූල නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවේ 2 වන හා 10 වන පරිච්ඡේදවල ඇති පරස්පරතා ද පෙන්වා දී තිබේ.

මේ අතර අද ෂැන්හයි නුවරදී ජනාධිපතිතුමා ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාකාරීත්වය පිළිබද 4 වන සමුළුව ඇමතුවේය.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ නිල සමුහ ජායාරුපය.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ නිල සමුහ ජායාරුපය.

තම කැමැත්ත පරිදි අවසානයක් අපේක්ෂා කරන ඇතැම් පාර්ශවයන් ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය තුරන්කිරීම දඩුවම් කළ යුතු කරුණක් සේ සලකා ක්‍රියාමාර්ගයන්ට මගපෑදීම කණගාටුවට කරුණක් බව මෙහිදි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා පැවසු‍වේ සාමයට ස්ථාවරත්වය හා සෞභාග්‍යයට එරෙහිව විශ්ව අභියෝග ජය ගැනීම සඳහා අද අවශ්‍යව ඇත්තේ හොද හිත හා සහෝදරත්වය බව ය.

ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය / රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]