කොස්තාපල් ඝාතනයේ අපරාධකරුවන් පිළිබඳ අනාවරණයක්

කොස්තාපල් ඝාතනයේ අපරාධකරුවන් පිළිබඳ අනාවරණයක්

කර්තෘ Sagarika Chathumali

07 May, 2014 | 3:45 pm

කුරුණෑගලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැහැරගෙන එක් අයෙකු ඝාතනය කළ අපරාධකරුවන් ඊට පැය කිහිපයකට පෙර නාරම්මල ඉන්ධන පිරවුම් හලකට පැමිණ මුදල් නොගෙවා ඉන්ධන ලබා ගෙන පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.

අපරාධකරුවන් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැත අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තවදුරට ත් පරීක්ෂණ ක්‍රියාත්මක යි.

ඝාතනයට ලක් වූ පොලිස් සැරයන්වරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු අරගම පොදු  සුසාන භූමියේදී සිදු කෙරෙනු ඇති.

ජීවිතක්ෂයට පත් වූ කොස්තාපල් චන්දන සම්පත් මහතාගේ සිරුර මේ වනවිට ගොකරැල්ල අරගම පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙනවිත් තිබේ.

පැහැරගෙන ගොස් ඝාතනය කළ පොලිස් කොස්තාපල් චන්දන සම්පත් මහතාගේ සේවා කාලය වසර 22කි.

මිය යන විට 42 වන වියේ පසු වූ ඔහු ගොකරැල්ල අරගම පදිංචිකරුවෙකි.

දෙදරු පියෙකු වූ චන්දන  මහතා, රාජකිරියේ යෙදී සිටියදී  ජීවිතක්ෂයට පත්වීම නිසා පොලිස් සැරයන් නිලයට උසස් කෙරිණ.

කුරුණෑගල මුත්තෙට්ටුගල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටියදී අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ මධ්‍යම රාත්‍රියේ  නාදුනන පිරිසක් විසින් පැහැරගනු ලැබීය.

නිලධාරීන් දෙදෙනා කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් දෙකක් පමණ රැගෙන ගොස් පසු ව බඩගමුව රක්ෂිතය ආසන්නයේ වම් පස අතුරු මාර්ගයක රැගෙන ගොස් තිබේ.

ඒ, රණවන දෙසට දිවෙන මාර්ගය ඔස්සේ ය.

එම ස්ථානයේදී වෙඩි තැබීමක් වී ඇති අතර  කොස්තාපල් චන්දන  මහතාගේ සිරුර සොයා ගැණුනේ ඔහු සමග සිටි පොලිස් කොස්තාපල් අජිත් වීරසූරිය මහතා ගම්වැසියන්ගේ සහය ඇතිව පොලිසියට කළ දැනුම් දීමක් අනුව ය.

පොලිස් කොස්තාපල් අජිත් වීරසූරිය මහතා පැහැරගත් පිරිස සමග පොරබදා පලා ගොස් තිබුණි.

මේ වනවිට ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]