රෝහල් කිහිපයක ආරම්භ වූ වැඩ වර්ජන තව දුරට ත් (Video)

රෝහල් කිහිපයක ආරම්භ වූ වැඩ වර්ජන තව දුරට ත් (Video)

කර්තෘ Sagarika Chathumali

30 Apr, 2014 | 8:12 pm

හෙදියන්ට සූතිකාගාර පුහුණූව ලබා දීමට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් රෝහල් කිහිපයක ආරම්භ වූ වැඩ වර්ජන තව දුරට ත් ක්‍රියාත්මක යි.

මෙම වර්ජනයට ඊයේ කොළඹ කාසල් වීදිය කාන්තා රෝහල ද එක් විය.

කාසල් වීදියේ කාන්තා රෝහලේ හෙද නිලධාරීන් වෛද්‍යවරුන්ට විරෝධය පළ කරමින් ඊයේ පස්වරුවේ ඔවුන්ගේ රාජකාරීවලින් ඉවත් විය.

ඔවුන් පැවසුවේ වෛද්‍යවරයකු බැණ වැදී සූතිකා පුහුණුවට බාධා කිරීමට විරෝධය පළ කරමින් රාජකාරීවලින් ඉවත් වූ බව ය.

අද උදෑසන ගැබිණි මව්වරුන් කොළඹ කාන්තා වීදිය කාන්තා රෝහලේ සායන සඳහා පැමිණි අද දිනයේ නියමිත සායන පවත්වා නොමැත.

මෙම රෝහලේ දිනකට 50 කට ආසන්න දරු ප්‍රසූති සංඛ්‍යාව සිදු වේ.

කාන්තා විදීය කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකයක් සහ නොමේරු ළදරු ඒකකයක් ද  පිහිටා තිබේ.

මව්වරුන් පැවසුවේ එම ඒකකවල කටයුතුවලට වර්ජනය හේතුවෙන් බාධා ඇති වූ බව ය.

කෙසේ වෙතත් බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අද පස්වරුවේ වර්ජනය අවසන් කළ බව කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ හෙද සොහොයුරිය පැවසී ය.

එහෙත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ  පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඊයේ සූතිකා සඳහා අවශ්‍ය උපකරණ පිටතින් රැගෙන ඒමට විරෝධය පළ කරමින් හෙදියන් ආරම්භ කළ වර්ජනය අද ත් ක්‍රියාත්මක විය.

එහෙත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පැවසුවේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශ ‍ක්‍රියාත්මක වූ බව ය.

සූතිකාගාර පුහුණුව නොමැති හෙද සිසුන් පිරිසක් ඊයේ පෙරවරුවේ නීත්‍යනූකූල නොවන අයුරින් කළුතර මහ රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටුවලට ඇතුළුවීමට වෛද්‍යවරු විරෝධය පළ කළහ.

අනතුරුව වෛද්‍යවරුන් හදිසි ප්‍රතිකාර හැර අනෙකුත් රාජකාරීවලින් ඉවත් වූ අතර එම වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක යි.

මේ අතර කුලියාපිටිය මූලික රෝහලේ හෙද නිලධාරීන් අද හදිසි ප්‍රතිකාර හැර අනෙකුත් රාජකාරීවලින් බැහැර වූ බව අප වාර්තාකරු පැවසී ය.

දඹදෙණිය සහ නිකවැරටිය රෝහලේ හෙද නිලධාරීන් අද පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය තව දුරට ත් ක්‍රියාත්මකයි.