පොල් නිෂ්පාදනය පහළ යාමට හේතුව

පොල් නිෂ්පාදනය පහළ යාමට හේතුව

කර්තෘ Chathuranga Rajapaksha

14 Apr, 2014 | 6:46 pm

2012 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට පොල් නිෂ්පාදනය සියයට 14.5 කින් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනාවරණ කර ති‍බේ.

එම නිසා පොල් තෙල් නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන ගණනාවක් ද පහත වැටී ඇති බව එහි සඳහන් ය.

2012 වසරේ දී ගෙඩි මිලියන 2,940  වු මෙරට පොල් නිෂ්පාදනය  2013 දී  ගෙඩි මිලියන2,513 ක් දක්වා කැපි‍පෙනෙන ලෙස පහළ ගිය බව මහ බැංකු වාර්තාවේ සඳහන් ය.

පොල් වගා කරන ප්‍රදේශවලට බලපෑ අඩු වර්ෂාපතනය ඊට හේතුව බව ද එහි දැක්වේ.

මහ බැංකුව පවසන්නේ 2013 දී නිෂ්පාදිත පොල් ප්‍රමාණයෙන් සියයට 72 ක් ආහාර පිසීම සඳහා ඉල්ලුම් කර ඇති තත්ත්වයක් තුළ පොල් ආශ්‍රීත නිෂ්පාදන කර්මාන්තකරුවන්ට අවශ්‍ය පොල් සපයා ගැනීම ගැටලුවක් වූ බව ය.

ඒ අනුව 2013 වර්ෂයේදී පොල් තෙල් නිෂ්පාදනය  සියයට 45 කින් පහළ ගොස් ඇති බත් කපාපු පොල් නිෂ්පාදනය ද  සියයට 30 කින් පහළ ගොස් ඇති බවත් මහ බැංකු වාර්තාවේ සඳහන් ය.

මේ අතර පොල් නිෂ්පාදනය පහළ යාම වයඹ පළාතේ පාරම්පරික කොහු නිෂ්පාදනයට ද අහිත කර ලෙස බලපා ඇති බව එම කර්මාන්තයේ නිරතවූවන් පෙන්වා දෙති.

ඔවුන් පවසන්නේ තම කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය වන පොල් ලෙලි සපයා ගැනීමේ දුෂ්කරතාව මත තම කර්මාන්ත පවත්වාගැනීමේ ගැටලුවක් නිර්මාණය වී ඇති බව ය.

[quote]මේ වැඩපොළවල් දැන් එන්ඩ එන්ඩ වැහිගෙන යන තත්ත්වයකට පත්වෙලා තියෙනවා.[/quote]

[quote]මේක තමයි අපි එදා ඉදන්ම කරගෙන යන රැකියාව මේක වැහිලා ගියොත් අපිට රැකියාවක් නැතුව යනවා.[/quote]

කොහු නිෂ්පාදකයින් පවසන්නේ පොල් නිෂ්පාදනය අඩු වීම මෙන්ම පොල්වලට වැළඳී ඇති මයිටා රෝගය ද තම කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරන බව ය.

[quote]රො‍ගය වැලදිච්ච පොල් ලෙලි අපිට ‍ලැබෙද්දි  එම ලෙලි වලින් ලබාගන්න පුළුවන් කොහු ප්‍රමාණය කොහු බත් ප්‍රමාණය  සෑහෙන ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම සමහර ලෙලි නිෂ්පාදනයට ගත නොහැකි තත්ත්වයටම පත්වෙලා තියෙනවා.[/quote]

[quote]ඉතින් මේ තත්ත්වේ මඟහරවා ගන්න  මං හිතන්නේ රජය මැදිහත් වීමක් වෙලා මේ සම්භන්ධයෙනුත් අවධානයක් යොමු කරන්න කියලා රජයෙන් ගෞරවයෙන් ඉල්ලනවා.[/quote]