තිදෙනෙකුට මරු කැඳවූ කල්මුණේ බස් අනතුර: වව්නියා බස් රථයේ රියැදුරු බීමතින් සිටි බවට අනාවරණය වෙයි

තිදෙනෙකුට මරු කැඳවූ කල්මුණේ බස් අනතුර: වව්නියා බස් රථයේ රියැදුරු බීමතින් සිටි බවට අනාවරණය වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

13 Apr, 2014 | 6:43 pm

අනතුරු වැළැක්වීමේ අරමුණ ඇතිව බීමතින් රිය පදවන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ආරම්භ කළ විශේෂ වැඩපිළිවෙළට තවමත් ගතව ඇත්තේ පැය 48 ක් පමණි.

මේ කාලය තුළ පමණක් බීමත් රියදුරන් 586 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ, බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් 15,000 කට ආසන්න සංඛ්‍යාවක් අද දිනයේ සිට යෙදවීමට බලාපොරොත්තුවන බව ය.

බීමතින් රිය ධාවනය කිරීම නිසා ජීවිත තුනක් අහිමිවීමේ ආසන්නතම සිදුවීමක් අද අලුයම කල්මුණෙන් වාර්තා විය.

අක්කරෙයිපත්තුව – කල්මුණේ ප්‍රධාන මාර්ගයේ ජුම්මා පල්ලිය අසළ දී අද අළුයම 3.45 ට පමණ එම අනතුර සිදු විය.

ඒ, අක්කරෙයිපත්තුවේ සිට වව්නියාව දෙසට සහ කොළඹ සිට අක්කරෙයිපත්තුව බලා ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙනි.

කොළඹ සිට අක්කරෙයිපත්තුව බලා ධාවනය වූයේ සුඛෝපභෝගී  බස් රථයකි.

අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මියගොස්, 19 දෙනෙකු තුවාල ලැබූහ.

අනතුරින් මියගොස් ඇත්තේ සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි එම්.වයි. සලීමා, අක්කරෙයිපත්තුවේ පදිංචිව සිටි 55 හැවිරිදි ඊබ්‍රහිම් වී.වී. ෆාතිමා සහ කොළඹ 12, ආමර් වීදියේ පදිංචිව සිටි සල්මාන් වායිස් යන අයයි.

තුවාල ලැබූ 19 දෙනාගෙන් 15 දෙනෙකු කල්මුණේ අෂ්රෆ් රෝහලටත්, දෙදෙනෙකු කල්මුණේ මූලික රෝහලටත්, දෙදෙනෙකු මඩකලපුව මූලක රෝහලටත් ඇතුළත් කෙරිණ.

පොලිසිය පැවසුවේ තුවාල ලැබූවන් අතර බස් රථ දෙකේ රියැදුරන් ද වන අතර ඔවුන් කල්මුණේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව ය.

අක්කරෙයිපත්තුව සිට වව්නියා බලා ධාවනය කෙරණු බස් රථයේ රියැදුරු ඊයේ රාත්‍රියේ සිටම බීමතින් සිට ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එම බස් රථයේ රියැදුරු අසුන අසළ තිබී මත්පැන් අඩක් සහිත බෝතලයක් හමු වූ බව ය.

මෙතෙක් ඔහු අත්අඩංගුවට ගෙන නොමැත.