වන අලින්ගේ නිදහස පාවා දීම සඳහා හීලෑ අලි විරෝධතා පෙළපාළියක (Video)

වන අලින්ගේ නිදහස පාවා දීම සඳහා හීලෑ අලි විරෝධතා පෙළපාළියක (Video)

කර්තෘ Kumudu Jayawardana

27 Mar, 2014 | 12:17 pm

මෙරට හීලෑ අලි ඇතුන්ගේ විරෝධතා පෙළපාළියක් ඊයේ පැලවත්ත ප්‍රදේශයේදී පැවැත්විණි.

මෙම විරෝධතා පාගමන නිරත වූයේ, ශ්‍රී ලංකාවේ හිලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානය සහ සිහළ රාවය ජාතික සංවිධානය එක්ව ය.

විරෝධතාකරුවන් පැවසුවේ, ශීඝ්‍රයෙන් වඳ වී යන අලි ඇත් පරපුර රැක ගැනීමට අලි ඇතුන් හීලෑ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ය.

විරෝධතාකරුවෝ පැලවත්ත සිට අලි ඇතුන් සමග පෙරහරකින් වනජීවී අමාත්‍යංශය‍ට ගොස් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට යෝජනා 15කින් සමන්විත සන්දේශයක් භාර දුන්හ.

අනතුරුව අමාත්‍යවරයා‍ සහ සිහළ රාවය ජාතික සංවිධානයේ පූජ්‍ය කොලොන්නාවේ ශ්‍රී සුමංගල හිමි අතර සක්ච්ජාවක් ද පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ වනජීවී අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා…..

“ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ද මහජනයාගේ ඉල්ලීම ද කියලා රටේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට අපි උත්තරේ හොයනවා. බලපත්‍ර දෙන ක්‍රමයක් නෑ. එහෙම බලපත්‍ර දෙන්න අපේ උනන්දුවකුත් නෑ. නමුත් අවශ්‍යතාවයන්ට අලි සපයන එක, සමාජ අවශ්‍යතාවයට , සංස්කෘතික අවශ්‍යතාවන්ට අලි සපයන එක අපේ වගකීමක්. ඒක අපි ඈත අතීතයේ පටන් ම තිබුණා. දැනට ත් අපේ ඒ නීතියේ තියෙනවා. ඒ බලය අපේ අධ්‍යක්ෂක ජනරාල්තුමාට ඉතිං අපි ඒක අවශ්‍යතාව මත බලාත්මක කරනවා”

කර්තෘ සටහන:

මෙහි හාස්‍යජනක තත්ත්වය වන්නේ, නිදහස අහිමි කරගත් හීලෑ අලි පිරිසක් යොදාගෙන නිදහසේ සැරිසරන වන අලි හීලෑ කිරීමට අවසර ඉල්ලීම ය. අලි හීලෑ කිරීමෙන් වන අලින්ගේ නිදහස අහිමිව යන බව වටහා ගැනීමට මේ හීලෑ අලින්ට බුද්ධියක් නැත. ඒ අනුව, වැටහී යන කරුණ නම් මේ මිනිස් පිරිස වන අලින්ගේ නිදහස පාවා දීම සඳහා හීලෑ අලි කඩේ යැවීමක්‍ මෙහිදී සිදුව ඇති බව ය.