කියැන්නෑම් සමාගමට එරෙහි කැපිටල් මහරාජා සංවිධානයේ නඩුව විභාගයට දින නියම කෙරේ

කියැන්නෑම් සමාගමට එරෙහි කැපිටල් මහරාජා සංවිධානයේ නඩුව විභාගයට දින නියම කෙරේ

කියැන්නෑම් සමාගමට එරෙහි කැපිටල් මහරාජා සංවිධානයේ නඩුව විභාගයට දින නියම කෙරේ

කර්තෘ Chathuranga Rajapaksha

27 Mar, 2014 | 10:22 pm

සීමාසහිත කියැන්නෑම් ලංකා පුද්ගලික සීමාසහිත කියැන්නෑම් එන්ට්‍රප්‍රයිසස් යන ආයතනවලට විරුද්ධව සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව ජූලි මස 23 වන දා විභාග කිරීමට නියමිත ය.

සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය මෙම නඩුව ගොනුකර ඇත්තේ අදාළ සමාගම් දෙක තමන් සමග එළඹ ඇති ගිවිසුමක් කඩ කිරීම තුළ සිදුවූ හානිපූරණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 40 ක වන්දියක් අපේක්ෂාවෙන් සහ තමන්ට ‍අයත් මැද කොළඹ පිහිටි
භූමියක් හා එම භූමි පරිශ්‍රය වගඋත්තරකාර සමාගම් දෙක විසින් විකිණීම පැවරීම වෙනත් කටයුත්තක් සඳහා යෙදවීම වළකාලන නියෝගයක්
අපේක්ෂාවෙනි.

එම නඩුව පසුගිය සැප්තැම්බර් මස 6 වන දා කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා හමුවේ විභාගයට ගැනුණු අවස්ථාවේ පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එස්. ඒ. පරතලිංගම් මහතා කරුණු ‍ගොනු කළේය.

එමගින් පෙන්වා දුන්නේ පැමිණිලිකාර සමාගමට අයත් භූමිභාගයක ‍ඩෝසන් ග්‍රෑන්ඩ් නමින් සුපිරි මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට වගඋත්තරකාර පාර්ශව දෙක පැමිණිලිකාර සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය සමග ගිවිසුමකට එළඹි බව ය.

2006  වසරේදී එළඹි අදාළ ගිවිසුම්ප්‍රකාරව ඩෝසන් ග්‍රෑන්ඩ් මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් වසර පහක් තුළ නිමකළ යුතුව තිබුණි.

පැමිණිලිකාර සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය අධිකරණය වෙත දන්වා ඇත්තේ වගඋත්තරකාරුවන් අදාළ ගිවිසුමේ
කොන්දේසී සම්පූර්ණ නොකරමින් හා එම කොන්දේසීවලට අනුකූල නොවෙමින් වගඋත්තරකරුවන් ගිවිසුම උල්ලංඝනය කිරීම හේතුවෙන්
පැමිණිලි පාර්ශවයට හානි හා අගතීන් සිදුව ඇති බව ය.

2012 වසරේ සැප්තැම්බර් 17 වන දා තරම් ඈත දිනකදී වගඋත්තරකරුවන් පැමිණිලිකාර සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය වෙත ලිපියක් යොමුකරමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා තමන්ට අරමුදල් නොමැති බව සදහන් කර ඇති බව ද ජනාධිපති නීතිඥ එස්. ඒ. පර්තලිංගම් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

පැමිණිල්ල තහවුරු කිරීම සදහා ඡායාරූප කිහිපයක් ද ඇමුණුම් ලෙස ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා ඩෝසන් ග්‍රෑන්ඩ් ව්‍යාපෘතිය මේ වනවිට මුළුමනින්ම අකර්මන්‍ය වී ඇති ආකාරය අධිකරණයේ වැඩි දුර අවධානයට යොමු කළේය.

ජනාධිපති නීතිඥවරයාගේ කරුණු සැළකිල්ලට ගනිමින් හා පෙත්සම හා බැඳුණු දිව්රුම් ප්‍රකාශ හා ඇමුණුම් කෙරේ අවධානය යොමුකරමින් අගතියක් සිදුව ඇතැයි බැලු බැල්මට පෙනීයන්නේ යැයි සෑහීමකට පත්වෙමින් අධිකරණය පළමු වගඋත්තරකාර සීමාසහිත කියැන්නෑම් පුද්ගලික සමාගමට අතුරු තහනම් නියෝගයක් පැනවිය.

එමෙන්ම වගඋත්තරකාර සමාගම් දෙකම පසුගිය සැප්තැම්බර් 20 වෙනිදා අධිකරණය හමුවේ පෙනීසිටිය යුතු බව නියෝග කළේය.

නියෝගය අනුව පසගිය සැප්තැම්බර් 20 වන දා වගඋත්තරකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයා පෙත්සම වෙනුවෙන් පිළිතුරු බැඳීමට හා විරෝධතා ගොනුකිරීමට දිනයක් ඉල්ලා සිටි අතර වගඋත්තරකරුවන් හා පැමිණිලිකරුවන් අතර වූ ගිවිසුමට අන්තර්ගත ‍බේරුම්කරණය පිළිබද වගන්තියක් සැළකිල්ලට ගැනීමේදී කොළඹ දිසා අධිකරණය මෙම නඩුකරය පවත්වාගෙන යා නොහැකිය යන විරෝධය මතුකරමින් පෙත්සමක් ද ගොනු කළේය.

එහිදී පැමිණිලිකාර සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය වෙනුවෙන් පෙනී සිටි එස්. ඒ. පර්තලිංගම් මහතා‍ එම පෙත්සමට විරෝධය පලකරමින් කියාසිටියේ එම ක්‍රියාවලිය වැරදි බව ය.

අනතුරුව වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරයා එම විරෝධතා පෙත්සම බලාත්මක කරවාගැනීමට යොමුවුයේ නැහැ.

අධිකරණය සීමාසහිත කියැන්නෑම් ලංකා පුද්ගලික හා සීමාසහිත කියැන්නෑම් එන්ට්‍රප්‍රයිසස් යන මෙම නඩුවේ වගඋත්තරකාර පාර්ශවවලට නියෝග කළේ, නඩුවට අදාළ ඔවුන්ගේ විරෝධතා සහ පිළිතුරු පසුගිය වසරේ ඔක්තෝබර් 29 වෙනිදාට ගොනුකරන ලෙස ය.

එදින නඩුව කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා පිළිතුරු හා විරෝධතා ගොනුකිරීමට තවදුරටත් කාලය ඉල්ලා සිටියේය.

ඒ අනුව අධිකරණය පසුගිය ජනවාරි 23 වන දා දක්වා කල් ලබා දුන්නේය.

පසුගිය ජනවාරි 23 වන දා නැවත නඩුව කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර සමාගම් දෙකේ නීතිඥවරයා පිළිතුරු හා විරෝධතා ගොනු කිරීමට තව දුරට ත් කල් ඉල්ලා සිටියේය.

එහිදී පැමිණිලිකාර සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ එස්. ඒ. පර්තලිංගම් මහතා අධිකරණය හමුවේ අයදුම්පතක් යොමුකරමින් දන්වා සිටියේ පිළිතුරු හා විරෝධතා ගොනුකිරීමට වගඋත්තරකරුවන්ට ලබාදුන් තුන්වන දිනය එදින බව ය.

එහිදී දෙපාර්ශවයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අධිකරණය ඊයේ දිනය දක්වා අදාළ විරෝධතා හා පිළිතුරු ‍ගොනුකිරීමට වගඋත්තරකරුවන්ට අවසන් දිනය ලබා දුන්නේය.

ඊ‍යේ කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය හමුවේ නඩුව සැලකිල්ලට ගැනුණු අවස්ථාවේදී වගඋත්තරකාර සීමාසහිත කියැන්නෑම් ලංකා පුද්ගලික සහ සීමාසහිත කියැන්නෑම් එන්ට්‍රප්‍රයිසස් ආයතනය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා පෙත්සමට අදාළ පිළිතුරු හා විරෝධතා අධිකරණය හමුවේ ගොනුකළා.

එම පිළිතුරු හා විරෝධතා පිළිගනිමින් එළඹෙන ජූලි මස 23 වන දා නඩුව විභාග කිරීමට අධිකරණය දින නියම කළේය.

ජනාධිපති නීතිඥ එස්. ඒ. පර්තලිංගම් හා නීතිඥ නිස්කන් පර්තලිංගම් යන මහත්වරුන් නීතිඥ ජී. ජී. අරුල්ප්‍රකාශම් මහතා‍ගේ උපදෙස් යටතේ මෙම නඩුවේදී පැමිණිලිකාර සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය වෙනුවෙන් පෙනී සිටියේය.

වගඋත්තරකාර සීමාසහිත කියැන්නෑම් ලංකා පුද්ගලික සහ සීමාසහිත කියැන්නෑම් එන්ට්‍රප්‍රයිසස් ආයතනය වෙනුවෙන්  නීතිඥ එන්. සිවෙන්ද්‍රන් මහතා පෙනිසිටියේ නීලකන්දන් සහ නීලකන්දන් නීති සමාගමේ උපදෙස් යටතේදී ය.