ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහාය දෙනවා – රොබට් මෙනෙන්ඩස්

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහාය දෙනවා – රොබට් මෙනෙන්ඩස්

කර්තෘ Chathuranga Rajapaksha

20 Mar, 2014 | 8:24 pm

සිවිල් යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙනඒමට නියමිත යෝජනාවට සහාය දෙන බව අමෙරිකානු සෙනට් මණ්ඩලයේ විදේශ සබඳතා පිළිබඳ කමිටුවේ සභාපති ‍රොබට් මෙනෙන්ඩස් මහතා නවනීදන් පිල්ලේ මහත්මියට ලිපියකින් දන්වා තිබේ.

විදේශ සබදතා පිළිබඳ අමෙරිකානු සෙනෙට් කමිටු වෙබ් අඩවියේ මේ බව දැක්වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් පවති තත්ත්වය පිළිබඳව තම කමිටුව කණස්සල්ලට පත්ව සිටින බව ඔහු මේ ලිපියේ පෙන්වා දී තිබේ.

රොබට් මෙනෙන්ඩස් මහතා එම ලිපියේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජය රටේ සැබෑ සංහිඳියාවක් ඇති කර ගැනීම සඳහා ශක්තිමත් පියවරක් ගන්නා තෙක් එහි වගවීම, දේශපාලන සංහිඳියාව සහ ප්‍රතිසංස්කරණ සහ ජාත්‍යන්තර ප්‍රජාව දරණ වැයමට තම පූර්ණ සහයෝගය ලබාදෙන බව ය.

ශ්‍රී ලංකා රජයේ මූලිකත්වයෙන් දරණ උත්සාහයේදී ජාත්‍යන්තර ප්‍රජාව කෙරෙහි කඩිනම් ප්‍රතිචාරයක් දක්වමින් නිශ්චිත දින වකවානු තූළ අවශ්‍යතාවන් ඉටුකිරීමට පියවර ගත යුතු බව ද එහි සඳහන්.

අමෙරිකානු සෙනට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ සභාපතිවරයා නවනීදන් පිල්ලේ මහත්මියට යැවූ ලිපියේ දැක්වෙන්නේ ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය පළාත් සභා බලගැන්වීම සඳහා රුකුලක් වී ඇති අතර එය ප්‍රාදේශිය මට්ටමින් සැබෑ දේශපාලන නියෝජනයක් ඇති කිරීමට මගපාදා ඇති බව ය.

එමඟින් ප්‍රතිසංස්කරණ හා සංවාදයකට නීත්‍යනුකූල මඟක් විවර වී ඇති බවද ඔහු පෙන්වා දෙන්නේය.

එහෙත් අවාසනාවකට ශ්‍රි ලංකාව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාවට නැඟීමටත්, උතුරු පළාත් සභා නායකත්වය සමඟ අර්ථාන්විත සංවාදයක් හා දේශපාලන සංහිඳියාවක් ඇතිකර ගැනීමේ අවස්ථාව අහිමිකර ගෙන ඇති බව එහි සඳහන් ය.

නවනීදන් පිල්ලේ මහත්මිය වෙත මෙනෙන්ඩස් මහතා යොමුකළ ලිපියේ දැක්වෙන්නේ සැබෑ දේශපාලන සංහිඳියාවකට සංවර්ධන ව්‍යාපෘති විකල්පයක් නොවන බව ය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ පෞද්ගලික කැපවීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බව ද අමෙරිකානු සෙනට් මණ්ඩලයේ විදේශ  සබඳතා පිළිබඳ කමිටුවේ සභාපතිවරයා යැවූ ලිපියේ සඳහන් ය.