කුරුණෑගල සිසුවියගේ ඥාතීන්ගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

කුරුණෑගල සිසුවියගේ ඥාතීන්ගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

කුරුණෑගල සිසුවියගේ ඥාතීන්ගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

කර්තෘ Sagarika Chathumali

03 Mar, 2014 | 6:42 pm

සිසුවියක සියදිවි හානි කර ගැනීමේ සිද්ධියකට අදාළව කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ හිටපු විදුහල්පතිවරයාට එරෙහි ව ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවරූ නඩුව අද යළිත් විභාගයට ගැනිණ.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මගින් එම පාසලේ විදුහල්පතිවරයා පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළ සිසුවියට බැණ වැදී අපහසුතාවයට ලක් කිරීමේ චෝදනා සම්බන්ධයෙනි.

එහිදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ව විදුහල්පතිවරයා ඇප මත මුදා හැරිණ.

අද අධිකරණය හමුවේ කරුණු දක්වමින් මිය ගිය සිසුවියගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් පැවසුවේ ජාතික ළමාරක්ෂක අධිකාරිය අපක්ෂපාති ලෙස ක්‍රියා නොකරන බැවින් එම පරීක්ෂණ වෙනත් ස්වාධීන ආයතනයකට භාර දෙන ලෙස ය.

එහෙත් එම ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේ ය.

මේ අතර සැකකාර විදුහල්පතිවරයා ඇප ලැබීමෙන් පසු පාසලට යෑම, සිසු දෙමව්පියන් ඇමතීම ඇතුළු කරුණු කිහිපයක් තුළ ඔහු ඇප කොන්දේසි කඩ කළ බවට ද අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු අධිකරණය හමුවේ පවසා සිටියහ.

එහෙත් විදුහල්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් පැවසුවේ එවැන්නක් සංවිධාන කර තිබුණේ තම සේවාදායකයාගේ අනුදැනුමකින් තොරව බව ය.

ඒ අනූව විදුහල්පතිවරයා ඇප කොන්දේසි කඩ නොකළ බවට අධිකරණය තීරණය කළේ ය.

නඩුව ලබන මස 2 වන දා යළි කැඳවීමට නියමිතයි.