මැගසින් බන්ධනාගාරයේදී බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි රැඳවියෙක් මිය යයි (වීඩියෝ)

මැගසින් බන්ධනාගාරයේදී බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි රැඳවියෙක් මිය යයි (වීඩියෝ)

කර්තෘ Sagarika Chathumali

25 Feb, 2014 | 10:09 pm

මැගසින් බන්ධනාගාර තුළ මිය ගිය රැඳවියාගේ  මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසුව අනාවරණය කළ හැකි බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.

මිය ගිය පුද්ගලයා බන්ධනාගාරයේ වැසිකිළියක් තුළ වැටී සිටියදී ඊයේ උදෑසන සොයා ගැනිණ.

මිය ගිය පුද්ගලයා විශ්වලිංගම් ගොපිදාස් නම් 43 හැවිරිදි යාපන පේදුරුතුඩුව  ප්‍රදේශයේ පදිංචිකරුවකි.

ඔහු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකු ද වේ.

2007 වසරේදී ත්‍රස්තවාදීන්ට සහාය පළ කිරීමේ චෝදනා මත කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනෙන ගොපිදාස්ට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ  2012 වසරේදී වසර 5 ක සිර දඬුවම් නියම විය.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පරික්ෂණය සඳහා මිය ගිය රැඳවියාගේ මළ සිරුර අද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාල මෘත ශිරීරාගාරයේ තැන්පත් කර තිබුණි.

එම ස්ථානයට පැමිණි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක දෙක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය මෘත දේහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් පරික්ෂණය සඳහා යොමු කෙරිණ.

විශ්වලිංගම් ගොපිදාස්ගේ ඥාතීහු බ්‍රිතාන්‍ය‍යේ පදිංචිව සිටින අතර අද ඔවුන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගායට පැමිණ සිටියහ.

ඒ අතර ඔහුගේ දරු දෙදෙනා ද වූහ.

මේ අතර මෙම මරණය පිළිබඳව තමන්ට සැක මතු වන බව ඥාතින් පවසති.