ICC කෙටුම්පත ගැන ශ්‍රී ලංකාව තවමත් දෙගිඩියාවෙන්

ICC කෙටුම්පත ගැන ශ්‍රී ලංකාව තවමත් දෙගිඩියාවෙන්

කර්තෘ Chathuranga Rajapaksha

26 Jan, 2014 | 7:46 pm

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහා වූ නව කෙටුම්පතට එම කවුන්සිලයේ හිටපු සභාපති ඉෂාන් මානිද විරෝධය පළ කළේය.

ඔහු අවාධාරණය කළේ, එම කෙටුම්පත ස්වාධීන වි‍මර්ශනයකට ලක් කළ යුතු බව ය.

ලබන අඟහරුවාදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත එම නව කෙටුම්පතින් ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවිය හැකි වෙනස්කම් මොනවා ද ?

අනතර්ජාතික ක්‍රිකට් කවුන්සිල විධායක කමිටුවේ පූර්ණ ස්ථිර සාමාජිකයින් ගණන 10 කි.

එනම් මේ වනවිට ටෙස්ට් වරම් දිනූ සියලු රටවලට මේ විධායක කමිටුවේ සාමාජිකත්වය හිමිව තිබේ.

නමුත් අලුත් යෝජනාවට අනුව මින් ඉදිරියට මේ විධායක කමිටුවේ පූර්ණ ස්ථීර සාමාජිකත්වය හිමි වන්නේ ඉන්දියාවට එංගලන්තයට සහ ඕස්ට්‍රේලියාවට පමණි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය ද මේ රටවල් තුනට පමණක් හිමි වේ.

ඉතා සරලව කියනව නම් මින් ඉදිරියට ලෝකයේ ක්‍රිකට් පාලනය කිරීමේ වැඩි බලය සහ ආධිපත්‍ය හිමි වන්නේ මේ රටවල් තුනට පමණි.

මේ තත්ත්වය මත නව යෝජනාවෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ‍විධායක කමිටුවේ පුර්ණ ස්ථිර සාමාජිකත්වය අහිමි වන ශ්‍රී ලංකාව වැනි රටවල ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට කුමක් වෙයි ද?

යොජිත නව කෙටුම්පතින් ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව හැර සෙසු රටවලට කිසිඳු වාසියක් හිමි නොවන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හිටපු සභාපති ඉෂාන් මානි පවසයි.

පිටු 13 කින් යුතු නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සුපිළිපන්න බව හා විනිවිද බව අවතක්සේරුවකට ලක් කර ඇති බව ය.

‍උපුටා ගැනීම –

[quote]තමන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට සහ එහි  සාමාජිකයින්ට හොඳ නායකත්වයක් ලබා දෙනවා කියලා ඉන්දියාව එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව පවසනවා. ඒ වෙනුවෙන් ඔවුන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වැඩි බලතල තමන්ට ලබා දෙන්නැයිද ඉල්ලා සිටිනවා. නමුත් ඔවුන් එම බලතල අර්ථවත් ලෙස ක්‍රියාවට නංවන්නේ කොහොමද කියලා ප්‍රකාශ කර නැහැ. ඔවුන් සැලසුම් කරලා තියෙන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වැඩි බලය තමන් අතට ලබා ගන්න පමණයි.[/quote]

‍උපුටා ගැනීම අවසන් –

මේ ඉදිරිපත්ව ඇති යෝජනාවට අද  වනවිට ඉන්දියාව සමග එංගලන්තය ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය කැමැත්ත ප්‍රකාශ කරලා තිබේ.

විරුද්ධත්වය නිලවශයෙන් ප්‍රකාශ කර තිබෙන්නේ බටහිර ඉන්දීයකොදෙව් කණ්ඩායම සමග දකුණු අප්‍රිකාව සහ පකිස්ථානය පමණි.

සිම්බාබ්වේ නිලවශයෙන් කිසිදු ප්‍රකාශයක් කර නොමැත.

බංග්ලාදේශය මේ සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය කුමක් ද?

නව යෝජනා කෙටුම්පත සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ බහුතර එකඟත්වය හිමිව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

එම වාර්තාවල දැක්වෙන්නේ පසුගියදා පැවැති බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල රැස්වීමේ ඡන්ද විමසීමෙන්  වැඩි ඡන්ද 17 කින් යෝජනා කෙටුම්පතට අනුමැතිය හිමි වූ බව ය.

බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කෑදරකම එවැනි තීරණයකට හේතු වූ බව, එම ඡන්ද විමසීමේදී යෝජනා කෙටුම්පතට විරෝධතාව දැක්වූ එම පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ අහමඩ් සජාදුල් අලාම් පැවසූ බවද බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය.

එහෙත් එම මාධ්‍ය වාර්තා බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පිළිගනු නොලැබේ.

එහි සභාපති නස්මුල් හසාන් පැවසුවේ, සෙසු පාලක මණ්ඩල ගන්නා තීරණ පිළිබඳව තමන් සැළකිලිමත්වන බව ය.

උපුටා ගැනීම –

[quote]අපිට අවධානමක් ගන්න බැහැ. විශේෂයෙන්ම අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ දැන් තත්ත්වය සලකා බලන විට. අපේ ඡන්දයෙන් කෙටුම්පත සම්බන්ධයෙන් වෙනසක් වෙන්නේ නැත්නම් අපි බොහෝ දුරට නිහඬව සිටිනවා. නමුත් අපේ ඡන්දය තීරණාතම්ක නම් ඒක බරපතල තත්ත්වයක්. එවැනි අවස්ථාවක අප ගන්නා තිරණය ගැන අවබෝධ කර ගත හැක්කේ එම විධාක කමිටු රැස්වීමට සහභාගි වීමෙන් පමණයි.[/quote]

උපුටා ගැනීම අවසන් –

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මෙන්ම නව යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ද නිල වශයෙන් විරුද්ධත්වය හෝ එකගත්වය ප්‍රකාශ කර නොමැත.

අනාගතයේදී සළකා බැලීමේ පදනම මත, එම කෙටුම්පත දැනට පමා කර ගන්නා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට දැන්වූ බව පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට යැවූ එම ලිපියේ දැක්වෙන්නේ ‍මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් නව කෙටුම්පතෙහි ඇතුළත් යෝජනා යහපත් යැයි තමන් පිළිගන්නා බව ය.

එම කෙටුම්පත ලබන අඟහරුවාදා සම්මත වුවහොත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට එල්ලවන බලපෑම කුමක් විය හැකි ද ?

ඒ පිළිබඳ තව දුරට ත් තොරතුරු newsfirst.lk තුළින් බලාපොරොත්තුවන්න.