නාම යෝජනාව සමග හැඳුනුම්පතේ හෝ උප්පැන්නේ පිටපතක් අනිවාර්ය යි

නාම යෝජනාව සමග හැඳුනුම්පතේ හෝ උප්පැන්නේ පිටපතක් අනිවාර්ය යි

නාම යෝජනාව සමග හැඳුනුම්පතේ හෝ උප්පැන්නේ පිටපතක් අනිවාර්ය යි

කර්තෘ Sagarika Chathumali

25 Jan, 2014 | 8:21 am

ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී නාම යෝජනා පත්‍රය සමග අදාළ අපේක්ෂකයාගේ හැඳුනුම්පතේ හෝ උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ, වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමේදී මතුවන ගැටලු අවම කිරීම එහි  ප්‍රධාන අරමුණ බව ය.

එම හැඳුනුම්පතේ හෝ උප්පැන්න සහතිකයේ ඡායා පිටපත් අදාළ අපේක්ෂකයාගේ බවට පක්ෂ මහලේකම්වරයා හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයා සහතික කළ යුතු බව ද මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසී ය.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඊයේ පැවති සාකච්ඡාවේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ඒ පිළිබඳව දේශපාලන පක්ෂ නියෝජිතයින් දැනුවත් කළ බව ය.

එසේ ම ප්‍රතික්ෂේප නොවන අයුරින් නාම යෝජනා පත්‍ර භාර දී ම පිළිබඳව ද ඊයේ පැවති සාකච්ඡාවේදී පක්ෂ නියේජිතයින් දැනුවත් කර තිබේ.

එහිදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පක්ෂ නියෝජිතයින්ගෙන් ඉල්ලා ඇත්තේ, නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් අවම කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ය.

මේ අතර යෝජනා භාර දීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා ඉඩකඩ හිමි වන්නේ පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නියෝජිතයින් 4 දෙනෙකුට පමණක් බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පක්ෂයේ මහ ලේකම්වරයාට සහ නාම යෝජනා පත්‍රයේ මුල් අපේක්ෂකයින් තිදෙනාට ඊට සහභාගී වීමේ අවස්ථාව හිමි වන බව ය.

ඔවුන් වෙනුවෙන් වෙනත් පුද්ගලයින් ඊට සහභාගී වීමට නොහැකි බව ද මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ ය.