බාලාගාර 5ක් තවදුරටත් අක්‍රියයි

බාලාගාර 5ක් තවදුරටත් අක්‍රියයි

කර්තෘ Chathuranga Rajapaksha

23 Jan, 2014 | 7:14 pm

පෙර සැලසුම් කළ නඩත්තු කටයුතු සදහා අද නව ලක්ෂපාන හා කැනියොන් විදුලි බලාගාර ක්‍රියා විරහිත කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනජිත් දසනායක මහතා පැවසුවේ කැලණිතිස්ස හා නොරොච්චෝලේ බලාගාර ද තවදුරටත් අක්‍රිය තත්ත්වයේ පවතින බව ය.

ඊයේ දිනය වනවිට රන්ටැඹේ, රන්දෙණිගල, නොරොච්චෝලේ සහ කැලණිතිස්ස බලාගාරයේ කොටසක් අක්‍රීය තත්ත්වයේ පැවතුණි.

එහෙත් අද රන්ටැඹේ සහ රන්දෙනිගල බලාගාරයේ කොටසක් යථා තත්ත්වය පත්කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ කැලණිතිස්ස, නොරොච්චෝලේ, නව ලක්ෂපාන සහ කැනියොන් බලාගාර අක්‍රියවීමෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 350 කට අධික  ධාරිතාවක් අහිමිවන බව ය.

තාපයෙන්, ජලයෙන් සහ සුළං බලයෙන් මෙරට විදුලි අවශ්‍යතාව සපිරේ.

එම අවශ්‍යතාව දිනෙන් දින වෙනස් වන අතර ඊයේ දිනයේ උත්පාදනය කළ තාප විදුලිය ප්‍රතිශතය සියයට 73.7 කි.

ඊට අමතරව ජල විදුලිය ප්‍රතිශතය සියයට 25.2 ක් වු අතර ඉතිරිය සුළං බලයෙන් උත්පාදනය කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සෙනජිත් දසනායක මහතා

[quote]කැලණිතිස්ස සංයුක්ත බලාගාරයේ වාෂ්පීය කොටස සහ ගල් අඟුරු විදුලි බලාගාරය රන්දෙනිගල යන්ත්‍රය හැරුණු කොට අනිත් සියලුම ජල විදුලි බලාගාර සුළං බලාගාර ඒ වාගේම තාප බලාගාර ක්‍රියාකාරී තත්ත්වයේ පවතිනවා. ඒක නිසා එහෙම කිසිසේත්ම බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ විදුලි කප්පාදුවක් ඇතිවෙයි කියලා[/quote]

ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ උපදේශක බන්දුල චන්ද්‍රසේකර මහතා

[quote]නිසි කලට නිසි ආකාරයෙන්  බලාගාර නඩත්තු නොකිරීම නිසාත්  අද මෙම අර්බුදය තවදුරටත් තිව්‍රරවෙලා තියෙනවා.[/quote]