කියැන්නෑම් ලංකා පුද්ගලික සමාගමට සහ කියැන්නෑම් එන්ටප්‍රයිසස් සමාගමට එරෙහි නඩුව විභාග කෙරේ

කියැන්නෑම් ලංකා පුද්ගලික සමාගමට සහ කියැන්නෑම් එන්ටප්‍රයිසස් සමාගමට එරෙහි නඩුව විභාග කෙරේ

කර්තෘ Chathuranga Rajapaksha

23 Jan, 2014 | 9:36 pm

කියැන්නෑම් ලංකා පුද්ගලික සමාගමට සහ කියැන්නෑම් එන්ටප්‍රයිසස් සමාගමට එරෙහිව සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය පැවරූ නඩුව කොළඹ දිසා අධිකරණය හමුවේ අද යළි සළකා බැලුණි.

මාර්තු මස 26 තෙක් එම සමාගම් දෙකට විරෝධතා සහ පිළිතුරු ගොනුකිරීමට  අධිකරණය අද කල් ලබා දුන් අතර එය අවසන් දිනය බව ද  අවධාරණය කළේය.

කොන්ත්‍රාත්තුව කඩ කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ‍ඩොලර් මිලියන 40ක් ඉල්ලා සිටිමින් සහ, නඩුවට අදාළ ගොඩනැගිල්ල හා එම ඉඩම විකිණීම, පැවරීම සහ වෙනත් කටයුත්තකට යෙදීම වළක්වාලන නියෝගයක් කියැන්නෑම් ලංකා පුද්ගලික සමාගමට නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් කැපිටල් මහරාජා සංවිධානය එම නඩුව පවරා තිබුණි.

කොළඹ 02, ඩෝසන් වීදියේ, ඩෝසන් ග්‍රෑන්ඩ් නමින් සුපිරි මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම සදහා කියැන්නෑම් ලංකා පුද්ගලික සමාගම සහ  දකුණු කොරියාවේ කියැන්නෑම් එන්ටප්‍රයිසස් යන සමාගම් 2006 වසරේ සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය සමග ගිවිසුමකට එළැඹ තිබුණි.

සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය 2013 ව‍සරේ සැප්තැම්බර් මාසයේ එම නඩුව පවරමින් කියා සිටියේ ගිවිසුමට අනුව වසර 5ක් වූ නියමිත කාලය තුළ  ව්‍යාපෘතිය නිමකිරීමට අදාළ සමාගම් දෙක අපොහොසත් වූ බව ය.

පසුගිය සැප්තැම්බර් මස 06 වන දා නඩුව සළකා බැලූ කොළඹ දිසා අධිකරණය කියැන්නෑම් ලංකා පුද්ගලික සමාගමට අතුරු තහනම් නියෝග දැන්වීම් නිකුත් කළේය.

මීට අමතරව කියැන්නෑම් එන්ටප්‍රයිසස් සමාගමට එරෙහිව සිතාසී නිකුත් කළ අධිකරණය කියන්නෑම් ලංකා පුද්ගලික සමාගමට සහ කියැන්නෑම් එන්ටප්‍රයිසස්  සමාගම් දෙකට සැප්තැම්බර් 20 වන දා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කළේය.‍

එදින කැපිටල් මහරාජා සංවිධානය වෙනුවෙන්  පෙනී සිටී ජනාධිපති නීතීඥ එස්.ඒ පර්තලිංගම් මහතා අදාළ සමාගම් අතුරු තහනම් නියෝග දැන්වීමට එරෙහිව ඉදිරිපත් කළ මෝසම සහ එය ඉදිරිපත් කර ඇති ක්‍රියාපටිපාටිය වැරදි සහගත බව කියා සිටියේය.

එම විරෝධතා ගොනු කිරීමෙන් පසුව එම මෝසම ඉදිරියට ගෙන ගියේ නැහැ.

විරෝධතා හා පිළිතුරු ගොනු කිරීම 2013 ඔක්තෝබර් 29 වන දා සිදුකරන්නැයි අධිකරණය අදාළ සමාගම් දෙකට නියෝග කළේය.

ඒ අනුව 2013 ඔක්තෝබර් 29 වන දා යළි නඩුව විභාග කෙරුණු අතර එදින ද කියැන්නෑම් ලංකා පුද්ගලික සමාගම සහ කියැන්නෑම් එන්ටප්‍රයිසස් සමාගම විරෝධතා හා පිළිතුරු ගොනු කිරීමට කල් දෙන්නැයි ඉල්ලා සිටියේය.

අධිකරණය ඒ සඳහා නියෝග කළ දිනය වූයේ  2014 ජනවාරි 23 වැනිදා, එනම් අද දිනයයි.

අද අධිකරණය හමුවේ පෙනීසිටි අදාළ සමාගම් දෙක වි‍රෝධතා ගොනුකිරීමට හා පිළිතුරු ගොනු කිරීමට කල් ඉල්ලා සිටියේය.

‍අදාළ සමාගම් දෙකට විරෝධතා හා පිළිතුරු ගොනුකිරීමට දුන් තුන්වැනි දිනය අද බව කැපිටල් මහරාජා සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එස්.ඒ. පර්තලිංගම් මහතා, මෙහිදී කියා සිටි අතර, ඔහු ඉල්ලා සිටියේ ඒ සඳහා අවසන් දිනයක් නියම කරන ලෙස ය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අධිකරණය මාර්තු මස 26 වන දා ට විරෝධතා සහ පිළිතුරු ගොනු කරන්නැයි කියැන්නෑම් ලංකා පුද්ගලික සමාගමට සහ කියැන්නෑම් එන්ටප්‍රයිසස් සමාගමට නියෝග කළේය.

පැමිණිලිකාර සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය වෙනුවෙන් නීතීඥ ජී.ජී. අරුල් ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ එස්.ඒ. පර්තලිංගම්, නීතීඥ නිස්කාන් පර්තලිංගම් සහ නීතීඥ නිරංජන් අරුල්ප්‍රගාසම් යන මහත්වරුන් පෙනී සිටියහ.

කියැන්නෑම් ලංකා පුද්ගලික සමාගම සහ කියැන්නෑම් එන්ටර් ප්‍රයිසස් සමාගම වෙනුවෙන් නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගමේ උපදෙස් පරිදි නීතිඥ එන්.සිවේන්ද්‍රන් මහතා පෙනී සිටියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]