මහ මුහුදේ ධීවර හුවමාරුව

මහ මුහුදේ ධීවර හුවමාරුව

කර්තෘ Sagarika Chathumali

17 Jan, 2014 | 10:18 pm

ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලු නිරාකරණයට  දෙරට ධීවර අමාත්‍යවරුන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ අතර මෙරට අත්අඩංගුවේ සිටි තව ත් ඉන්දීය ධීවරයින් ඉන්දීය ධීවරයින් 111 දෙනෙකු අද දහවල් නිදහස් කළේ ය.

මුලතිව් මුහුදු සීමාවේදී  පසුගිය මස 10 වන දා ඔවුන් අත්අඩංගුවට පත් විය.

ධීවර පිරිස එලෙස මුදා හැරුණේ, අද පස්වරුවේ ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

ඇප කොන්දේසි රහිතව ඉන්දීය ධීවරයින් මුදා හරින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ. සරවරාජා මහතා එහිදී නියෝග කර තිබේ.

එමෙන් ම මහස්ත්‍රාත්වරයා වැඩි දුරට ත් පවසා ඇත්තේ නීතිපති උපදෙස් ලැබෙන තෙක් ධීවරයින්ගේ යාත්‍රා 17 ඇතුළු නඩු භාණ්ඩ මුදා නොහරින ලෙස ය.

මේ අතර තව ත් ඉන්දීය ධීවරයින් 30 දෙනෙකු මේ මස 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

තව ත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අද මුදාහැරුණේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ය.

ඉන්දු, ලංකා ධීවර සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස  නිදහස් කළ දෙරට ධීවරයින් ඊයේ පස්වරුවේ කන්කසන්තුරේට උතුරින් වූ ජාත්‍යන්තර මුහුදේදී හුවමාරු කර ගැනිණ.

මේ වන විට මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් සංඛ්‍යාව 109කි.

ශ්‍රී ලාංකික ධීවරයින් 151 දෙනෙකු ඉන්දීය අත්අඩංගුවේ සිටින බව ඉන්දීය වෙරළාරක්ෂක ප්‍රධානී  එස්.පී. ශර්මා මහතා පැවසී ය.

මේ අතර ඉන්දු ලංකා ධීවර සාකච්ඡාවලට සහභාගි වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිස ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේ ය.