ප්‍රංශ ජනපති මුනිවත රකිද්දී, හිටපු පෙම්වතිය නඩු මගට බසී

ප්‍රංශ ජනපති මුනිවත රකිද්දී, හිටපු පෙම්වතිය නඩු මගට බසී

ප්‍රංශ ජනපති මුනිවත රකිද්දී, හිටපු පෙම්වතිය නඩු මගට බසී

කර්තෘ Sagarika Chathumali

17 Jan, 2014 | 7:29 pm

ප්‍රංශ ජනාධිපති ‍ප්‍රංශුවා හොලන්ඩේගේ පෙම්වතිය වන ජනප්‍රිය නිළි ජූලි ගේයට් සිය සබඳතා සම්බන්ධයෙන් ඡායාරූප පළ කළ සඟරාවට එරෙහි ව නඩු මඟට බැස තිබේ.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ, ඇය සිය පෞද්ගලිකත්වයට හානි කිරීම සම්බන්ධයෙන් අදාළ සඟරාවට එරෙහි ව නීතිමය පියවර ගෙන ඇති බව ය.

අදාළ සඟරාව ප්‍රංශ ජනාධිපතිවරයා සහ ගේයට් අතර රහස් සබඳතාව පිළිබඳ  ඡායාරූප පළ කිරීම ත් සමඟ ම එය ඔහුගේ තනතුර පවා අභියෝගයට ලක් කළ සිදුවීමක් විය.

එම තොරතුරු දැකීමෙන් කනස්සල්ලට පත් 48 වන වියේ පසුවන හොලන්ඩේගේ වත්මන් සහකාරිය වැලරී ට්‍රියර්වේලර් රෝහල්ගත කෙරිණ.

විදෙස් වාර්තා පවසන්නේ අදාළ සඟරාව පසුගිය සිකුරාදා ජනාධිපතිවරයාගේ අයතා සබඳතාවය සම්බන්ධයෙන් පළ කළ ඡායාරූප සහ පිටු 7ක විස්තර වාර්තාව ඔහු මේ දක්වා ප්‍රතික්ෂේප කර නොමැති බව ය.

එම ඡායාරූපවල දැක්වුණේ ප්‍රංශ ජනාධිපති හොලන්ඩේ මැදියම් රැයේ සිය යතුරු පැදියේ නැගී රහසිගත ලෙස ජනප්‍රිය නිළි ගේයට්ගේ නවාතැන්පොළට යන අයුරු ය.

41 වන වියේ පසුවන ඇයගේ නවාතැන පැරිස් නුවර ජනාධිපති නිළ නවස වන එල්සී මාළිගය ආසන්නයේ ම පිහිටා තිබේ.

මේ අතර 59 වන වියේ පසුවන ප්‍රංශ ජනාධිපතිවරයා පවසන්නේ අදාළ සඟරාව පළ කර ඇති වාර්තාව සමබන්ධයෙන් තමන් පිළිතුරු නොදෙන බව ය.

පෞද්ගලික ප්‍රශ්න විසඳා ගත යුත්තේ පෞද්ගලික මට්ටමින් බව ඔහු පෙන්වා දෙයි.

ප්‍රංශ වාර්තා පවසන්නේ ජනාධිපතිවරයා සිය වත්මන් සහකාරිය සමඟ දිවිගෙවූව ද ඔහු අවිවාහකයෙකු බව ය.

එම නිසා පවතින තත්ත්වය හමුවේ ජනාධිපති ආර්යාව වන්නේ කවුරුන් ද යන්න පිළිබඳ මේ වනවිට මතභේදයක් හටගෙන තිබේ.

විචාරකයින් පවසන්නේ ලබන සතියට නියමිත ප්‍රංශ ජනාධිපතිවරයාගේ අමෙරිකානු නිල සංචාරය ඔහුගේ ආර්යාව කවුරුන් ද යන ගැටලුවට විසඳුම් සපයනු ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]