දිවයිනේ ප්‍රදේශ රැසකට අධික ශීත කාලගුණයක්

දිවයිනේ ප්‍රදේශ රැසකට අධික ශීත කාලගුණයක්

කර්තෘ Sagarika Chathumali

05 Jan, 2014 | 8:29 pm

මේ දිනවල අධික ශීත කාලගුණයක් පවතින බව දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සති කිහිපයක සිට ශීත කාලගුණයක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

දකුණු අර්ධ ගෝලයට සූර්යා මුදුන් වීම නිසා උතුරු අර්ධ ගෝලයට මේ දිනවල ශීත කාලගුණයක් පවතී.

ඒ හේතුවෙන් සමකාසන්නව පිහිටි ශ්‍රී ලංකාවට ඊශාන දිග මෝසමේ ආරම්භය ත්  සමග ම උතුරු දෙසින් ශීත සුළං පැමිණෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වළාකුළු පිරි අහසක් පැවතීම නිසා සූර්යාලෝකය පොළොවට පතිත වීමේ අඩුවක් පවතින බව පෙන්වා දෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අධික ශීත කාලගුණයට එය ද හේතුවක් විය හැකි බව ය.

දිවයිනේ ප්‍රදේශ ගණනාවකටම ශීත කාලගුණයක් පැවතිය ද ස්භාවයෙන් ම ශීත කාලගුණයක් පවතින නුවරඑළියේ තත්ත්වය මීට හාත්පසින් වෙනස් ය.

මේ අතර ලොව බොහෝ රටවලට මේ දිනවල පවතින්නේ ශීත කාලගුණයකි.

ජනවාරි මාසය ආරම්භයේ සිට ම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නිව්යෝර්ක්, මිනියපොලිස්, මිනසෝටා ඇතුළු අමෙරිකාවේ ප්‍රදේශ රැසකට ද මේ දිනවල  අධික ශීත කාලගුණයක් පවතී.

මේ හේතුවෙන් මාර්ග බොහොමයක් හිමෙන් වැසී පවතින අතර විදෙස් වාර්තා පවසන්නේ අමෙරිකාවේ උෂ්ණත්වය ඝෘන 50 දක්වා පහළ යා හැකි බව ය.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේ පමණක් අමෙරිකාවේ  ගුවන් ගමන්වාර 1266ක් අවලංගු කර තිබේ.

කැනඩාවට ද වාර්තාගත ශීත කාලගුණයක් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය.

කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙන්ට්‍රිගේඩ් අංශක සෘණ 38 දක්වා පහළ බැස තිබේ.