බදුරලිය රෝහලේ ප්‍රතිකාර සේවා තව ම ඇරඹී නැහැ

බදුරලිය රෝහලේ ප්‍රතිකාර සේවා තව ම ඇරඹී නැහැ

කර්තෘ Sagarika Chathumali

25 Dec, 2013 | 3:39 pm

බදුරලිය රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වැඩ වර්ජනය අත්හැර දමා තිබේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ, රෝගීන්ට සිදු වන දුෂ්කරතා සලකා බලා එම තීරණය ගත් බව ය.

ඒ අනුව අද උදෑසන සිට හෙද කාර්ය මණ්ඩලය සේවා සඳහා රෝහලට වාර්තා කළ අතර අනෙකුත් කාර්ය මණ්ඩලය රෝහල් සේවා ආරම්භ කරන්නේ නම් සිය රාජකාරි කටයුතු ඉටු කිරීමට හෙද නිලධාරින් සුදානම් බව ද උන්වහන්සේ සඳහන් කළේ ය.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසුවේ සිය වෛද්‍යවරුන්ට නිසි ආරක්ෂාවක් තව ම ත් තහවුරු වී නොමැති බව ය.

මේ අතර අප කළ විමසීමකදී බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය ජගත් අංගගේ මහතා පැවසුවේ, වෛද්‍යවරුන් හැර අනෙකුත් වෘත්තිය සමිති සේවා කටයුතු ආරම්භ කිරීමට කැමැත්ත පළ කළ ඇති බව ය.

ඒ අනුව හදිසි රෝගියෙකු රෝහලට පැමිණිය හොත් වෙනත් රෝහලක් කරා රැගෙන යාමට ගිලන් රථ සේවා ආදිය සුදානම්ව තබා ඇති බව ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් රෝගීහු දැඩි දුෂ්කරතාවට පත් ව සිටිති.